එරබදු මල් පිපෙන්නෑලු
රබන් සුරල් වැයෙන්නෑලු
එරබදු වැටියම කපලා
කොහා “කොහො!” කියන්නෑලු
පවන් පොදට සුවද කැව්ව
වන මල් දැන් පිපෙන්නැද්ද?
සපු දුනුකේ පිපුණ බැද්ද
පාළුවෙලා ගිහින්වද්ද?
වස් දඬු ගී වැයෙන්නෑලු
වාරම් කවි ඇහෙන්නෑලු
ගමේ ලමිස්සියන්ට දැන්
රබන් පදත් මතක නෑලු
ඇල දොල දිය කඩිති සිඳී
ගම නිහඬය නැතිව සද්ද
හිස් කළගෙඩි පෙළට හැදී
පිඹිනා තුරු බලා හිඳී
යලමහ දෙක පාලු වෙලා
කලට වැස්ස නැති හින්දා
අටු කොටු පතුළට හිඳිලා
බත සරිවරි කරනු කොහොම
අත මිට හිඟ දැනෙයි බොහොම
ගොයි රාලගෙ පපු කැනැත්ත
දෙදරාවිද හූල්ලලම
නැකතට ගනු දෙනු කරන්න
සළු පිළි ගත දවට ගන්න
අපිට හුඟක් මදි පාඩුයි
අවුරුදු කුමරුනි නොඑන්න.
මල්ලිකා එම් බණ්ඩාර
14. 04. 2019