Saturday, 29 April 2023

බූස්සේ කෑම්ප් එකේදී...


 1972 April 2
ප්‍රියාදර මැඟී,..

කටු කම්බි දහඅට පොටක්

වට කරපු තහනම් වැටක්

නිම්නයේ හිරු නැඟී බසින මුත්

අනියතයි තව හෙටක්

ඒත් මේ බූස්සේ කඳවුර​

දැන් අපේ නිවහනයි

 

හිරු බසින යාමයේ හිස් අහස් වියන යට​

බැලූ අත බලාගෙන ගෙවුනු දින ගණිද්දී

අඳුරු ගුලකින් ඇදෙන කළු කූහුඹු රෑනක්ව​

මතක පොදි දිගෑරී ​ එක පෙළට ඇදෙනවා

 

කඳු මුදුනටත් උඩින් නිදහසේ පියාඹන

කුරුළු රෑනක් මගේ දෑස් ලුහුබඳිනවා

තරු කැකුළු පිපෙන විට​ පියාපත් ලැබ සිතට​

කටු කම්බි වැටෙන් පැන​

හුදකලා කන්දටත් උඩින් පියඹා ගිහින්​

මුතු පබළු පිනි ඉහුන 

පැළ ගොයම් වෙල්‍ යාය පහුකරන්

ඇල වේල්ලට යාව ගුරු පාරදිගේ 

 නිදහසේ පියමැන හෙමින්  ​

ගමේ ඉස්කෝලයේ උසස් පෙළපන්තියේ

සුදෝ සුදු නැවුම් රැළි ගවුම ඇඳ

නුඹ අසල මමත් හිඳ ගන්නවා

 

මුතු පබළු අකුරු වැල් අමුණාපු පද අතර​

බක් මහේ දෙවෙනිදා  සමුගත්ත විලසින්ම​

මිතුදමක තෙතමනය තවරලා

ගිමන් කල වැහි වළාවක්වගේ

ලියමනක් එවන ලෙස යදිනවා

 

මල්ලිකා එම් බණ්ඩාර​

29. 04. 2023

 

Friday, 28 April 2023

දෙවියන් හමුවීම​

 


අබ මිටක් ඉහිරුවත් මිහිමතට නොහෙනසේ

එකම එක හිස් ගොඩක් පුද බිමේ විසිර​ ඇත​

 

දුරු කතර ගෙවා ගෙන

ගම්, නියම් ගම්, පසල් දනව් පහුකර ඇවිත්

මිනිස් කැළ රොද බැඳී

අයාගත් මුවින්, යොමා ගත් නෙතින්

පුල පුලා බලාගෙන​ හිඳින්නේ

ප්‍රාදූර්භූත වෙනතුරුය, දෙවියන් වහන්සේ

 

ඇදිලි බැඳගත් අතින්

දැන්... මේ දැන්ම​; සුදු වළා සළු ඉරා

නිල් අහස දෙබෑකොට​

ප්‍රකාශිත වෙන තුරා බලා සිටියෙමු අපි

අපේ ඇස් අන්ධය​. අපේ කන් බිහිරිය​

අපේ හිත් මුග්ධය.

​

දෙවියන් දකින්නට නොහැකිසේ

නාලිකාවන් තුළම නිමාකළ

සෙල්මුවා හදවත් කෙසේ නම්

දකින්නද සැබෑව ?

 

දිවා රෑ ඇසෙන්නේ දකින්නේ

 තිරය මත දිග හැරෙන

අනාගත වක්තෘන් ගේ දේශනාවන් පමණි

සිහින වල කිඳා බැස නිදිකිරා වැටෙන​ සඳ​

කෙසේ නම් දකින්නද​

අප තුළම වැඩහිඳින දෙවිඳුන්?

  

කඩතුරා බිඳරැදා විවර කළ නොහැකිසේ

සියතින්ම අගුළුලා පිරමීඩ තනන්නෙමු ​

සිපිරි ගෙයි වහල් බැමි කඩා බිඳ දමන තුරු

සදාතන​ වහලුන්ය අප

රතු මුහුද නොපෙනෙනා මානයේ

 

මල්ලිකා එම් බණ්ඩාර​

28. 04. 2023

කහට තේ

 


පච්ච පාට සාරිය ඇඳ​ - පිච්ච මල් ගසා කෙහෙරොද​

නමෝ විච්චියට සැරසී - හිනා මිටක් මුව දවටා

පෙරෙට්ටුවට පිය මැන්නා - සෙල්ල-රාජිනී

 

නළල්තල මතින් රූටා - උනා වැටෙන දාබිඳු කැට​

තේ දළු නෙළනා නියගින් - පිස දමා හෙමින් හිනහෙන​

කුලී කුරක්කමට යන්ට​ - උඹ තාමත් ළපටි එකී

සෙල්ල-රාජිනී

  

අතේ පිච්චියක් නැති කොට​ - පල්ලි ගිහින් මක්කොරන්ට​

පුල්ලෙ මඩුව පහු කරගෙන​ - හීන පැදුරු අකුලා ගෙන​

ළමා වියෙන් පිය මැන්නා

සෙල්ල-රාජිනී

 

කෝපි කාලෙ පියමං කර ​- තේ යුගයට සේන්දු වුණ

ලැයිම් පේළියේ උරුමය ​- පරම්පරාවෙන් හිමිවුණ

තේ දල්ලක් වගේ උඹත් - කහට කෝප්පෙට වැටේවි

සෙල්ල-රාජිනී

 

මල්ලිකා එම් බණ්ඩාර 

28. 04. 2023​