අබ මිටක් ඉහිරුවත් මිහිමතට නොහෙනසේ
එකම එක හිස් ගොඩක් පුද බිමේ විසිර ඇත
දුරු කතර ගෙවා ගෙන
ගම්, නියම් ගම්, පසල් දනව් පහුකර ඇවිත්
මිනිස් කැළ රොද බැඳී
අයාගත් මුවින්, යොමා ගත් නෙතින්
පුල පුලා බලාගෙන හිඳින්නේ
ප්‍රාදූර්භූත වෙනතුරුය, දෙවියන් වහන්සේ
ඇදිලි බැඳගත් අතින්
දැන්... මේ දැන්ම; සුදු වළා සළු ඉරා
නිල් අහස දෙබෑකොට
ප්‍රකාශිත වෙන තුරා බලා සිටියෙමු අපි
අපේ ඇස් අන්ධය. අපේ කන් බිහිරිය
අපේ හිත් මුග්ධය.
දෙවියන් දකින්නට නොහැකිසේ
නාලිකාවන් තුළම නිමාකළ
සෙල්මුවා හදවත් කෙසේ නම්
දකින්නද සැබෑව ?
දිවා රෑ ඇසෙන්නේ දකින්නේ
තිරය මත දිග හැරෙන
අනාගත වක්තෘන් ගේ දේශනාවන් පමණි
සිහින වල කිඳා බැස නිදිකිරා වැටෙන සඳ
කෙසේ නම් දකින්නද
අප තුළම වැඩහිඳින දෙවිඳුන්?
කඩතුරා බිඳරැදා විවර කළ නොහැකිසේ
සියතින්ම අගුළුලා පිරමීඩ තනන්නෙමු
සිපිරි ගෙයි වහල් බැමි කඩා බිඳ දමන තුරු
සදාතන වහලුන්ය අප
රතු මුහුද නොපෙනෙනා මානයේ
මල්ලිකා එම් බණ්ඩාර
28. 04. 2023
No comments:
Post a Comment