Saturday, 29 April 2023

බූස්සේ කෑම්ප් එකේදී...


 1972 April 2
ප්‍රියාදර මැඟී,..

කටු කම්බි දහඅට පොටක්

වට කරපු තහනම් වැටක්

නිම්නයේ හිරු නැඟී බසින මුත්

අනියතයි තව හෙටක්

ඒත් මේ බූස්සේ කඳවුර​

දැන් අපේ නිවහනයි

 

හිරු බසින යාමයේ හිස් අහස් වියන යට​

බැලූ අත බලාගෙන ගෙවුනු දින ගණිද්දී

අඳුරු ගුලකින් ඇදෙන කළු කූහුඹු රෑනක්ව​

මතක පොදි දිගෑරී ​ එක පෙළට ඇදෙනවා

 

කඳු මුදුනටත් උඩින් නිදහසේ පියාඹන

කුරුළු රෑනක් මගේ දෑස් ලුහුබඳිනවා

තරු කැකුළු පිපෙන විට​ පියාපත් ලැබ සිතට​

කටු කම්බි වැටෙන් පැන​

හුදකලා කන්දටත් උඩින් පියඹා ගිහින්​

මුතු පබළු පිනි ඉහුන 

පැළ ගොයම් වෙල්‍ යාය පහුකරන්

ඇල වේල්ලට යාව ගුරු පාරදිගේ 

 නිදහසේ පියමැන හෙමින්  ​

ගමේ ඉස්කෝලයේ උසස් පෙළපන්තියේ

සුදෝ සුදු නැවුම් රැළි ගවුම ඇඳ

නුඹ අසල මමත් හිඳ ගන්නවා

 

මුතු පබළු අකුරු වැල් අමුණාපු පද අතර​

බක් මහේ දෙවෙනිදා  සමුගත්ත විලසින්ම​

මිතුදමක තෙතමනය තවරලා

ගිමන් කල වැහි වළාවක්වගේ

ලියමනක් එවන ලෙස යදිනවා

 

මල්ලිකා එම් බණ්ඩාර

29. 04. 2023

 

No comments:

Post a Comment