Tuesday, 9 May 2023

උරුමය

තරු මල් මියැද ගිළිහෙන මැදියම් රැයක​

අරුමය දැනේ මාතින් ගිළිහුණ පෙමක​

තුරු මත පතිත වෙන පිනි කඳුළලැලි විල​ක​

තරුපති වුණේ කිම නුඹ​ නොපැතූ දිනක​

 

කාලය තනා දුන් ගී තණුවක පහස

මා ළය පිරිතිරුණි​​ පුන්කළසක් විලස​

කෝලය​ මැවූ නෙතු අග  සැඟවුණ​ රහස​​

 ආලය නොවේ යැයි පවසන්නේ කෙලෙස​?


සිහිනෙක​ සුවඳ ඉහිරී ගිය දසන්තයේ

කඳවුරු බැඳ හිඳී මතකය දිගන්තයේ

වියමන මඟ ඇරී තනිවුණ​ අනන්තයේ

පාළුවෙ සළුව උරුමයටද තියා ගියේ?

මල්ලිකා එම් බණ්ඩාර

9. 05. 2023


No comments:

Post a Comment