ඔබද මා අතර ඇති
කතා නැති වචන නැති
නිමා කළ නොහැකිවූ
හැඩතල පමණ ඇති
සිතුවමක් වගෙයි අප ප්‍රේමය
මෝදුවී දළු රිකිළි
අතු පතර ලා වැඩුන
සබඳතාවේ මිහිර
ආදරයදැයි කියා නොදත්තෙමි.
උභයකුල මුදුන් මල්කඩවූ
නුඹ අතින්
යෞවනේ දොරකඩදි ඉඳුල්වූ
නුඹට නොදැනුන
නුඹට නොහැඟුන
හඳුනාගත නොහුණ මගේ හිත
තුන්තේරවිල්ලක් ය නුඹට
කැළි කුණු කසට හැර,
දොවා වෙල්ලෑවේ
එළා පිල්ලෑවේ
වියළා ගත් නැවුම්
සළු පිළි දෙවූ නොමිලේම
කුල සිරිතට බැඳුණු
රජස් සෝදන්නි මාය
අදත් මා ළය පතුල
අඟිරිගා නුඹෙ නමින්
කල් බැන්ද ප්‍රේමයේ
තෝතැන්න පුරන්වී යානොදී
.නුඹේ රජ මඟුලට සළුවඩන
මා, නුඹේ රජිකාය.
මල්ලිකා එම් බණ් ඩාර
31. 10. 2024