Showing posts with label -Poetic expression - Sinhala. Show all posts
Showing posts with label -Poetic expression - Sinhala. Show all posts

Saturday, 22 August 2026

කඳු වළල්ලෙන් එපිට

 

ඉරා  මිහිදුම් පටළ මතකයේ වන පෙතේ

කඳු මුදුන සිප හමන මුදු මන්ද මාරුතේ

තැම්පාන ජල තලය ජනිත වෙයි මගෙ හිතේ

හීන් රල පතර සේ විසිර යන දස අතේ

 

සිනා සලනා සැණින් යළිඳු කෑකෝ ගසන​

කෙළි දෙලෙන් එළිමහන් රඟ මඩළ වැද කෙළින​

යොවුන් කුමරියො ජාල පන්දුවට පොර බදන​

මගෙ මතක මීන රැල​ දැල් පටින් සිර කරන​

 

නුඹෙ නැවුම් ම හාස යළි යළිත් ලුහුබඳින​

මගෙ දෑස කෙළි බිමේ සිසාරා යයි සැණින​

නුඹේ රුව බොඳ වෙලා මැකීයයි නොමහැඳින​

නුහුරු  පරිසරය මැද තනි දැනේ මම හිඳින

 

කඳු වළල්ලෙන් එපිට ගම් පියස කෙලවරේ

ඒ සොඳුරු සෙවන හැර ආ නමුදු නුඹ කෙරේ 

බැඳුණු සිත නොවෑවෙන  නුහුරු නුපුරුදු පුරේ

හිඳිමි නුපුබුදු කැකුළ සඟවාන ළය තුරේ


අහස කොතරම් දුරද නොපෑහෙන මානයේ

පහස නොලදිම් සරද සඳ නැඟුන යාමයේ

තරු එළිය දුටිමි  සසලවන සන්තානයේ

මියුලැසී හිඳින් යළි හමුනොවන මානයේ

 

මල්ලිකා එම් බණ්ඩාර​​

9.07.2026





 

Friday, 26 June 2026

තහංචිය

 


කයියෝරුවෙන් නැඟෙන  දුම්‍ රොටුව

ලන්තෑරුමේ දුබල එළිබිඳට​

පෙම් බඳින මෙරු රැලට නොබැණම​

බොයිලේරුවෙන් පෙරෙන තේ කහට​

එකින් එක වක්කරන නෝනා මාර්ක් ටින් වලට​

නුඹ අතින් හදන තේ කහට එක 

තොළ ගගා පොල් හකුරු හපන්නට

ගම්තුලානේ ඩිංගි බණ්ඩලා

පිය මනිති සංගුවේ නාදයට​

 

හැළි වළං අහුරාපු එකපිටට​

දුඹුළු බැඳි දුම් මැස්සෙ සෙවන යට​

 කොළොම්ඹුවෙ ඇනබාන​

 තාච්චියෙ කරකැවෙන ආප්පේ තාලයට  

  බූමිතෙල් කුප්පියේ කදෝපැණි දැල්ල ලඟ​

 හදන කඩයප්පමට යොමා නිදි බර දෑස​

දැළි වැකුණ චීත්තේ නෙරිපටින් පිරිමඳින​

අම්මාගෙ රුව ඇඳෙයි සසර මංපෙත ඉමක​

 

පුරා හතළිස් වසක් කඩපිලේ

ලෑලි බංකුව නුඹට සිහසුනක් වෙද්දි

තුන් මහල් ප්‍රාසාද ඉදිකෙරූ අපෙ නමට

 

 රාස්සිගෙ මෑ වැලේ කරටියට නඟින්නට​​

හිණිපෙත් තනා දුන් මා-පියන්වූ නුඹට​

මගෙන් සිදුවුණෙ කිමැයි නිසැකවම කිව නොහැක​.

 

උපන් දින සාදයට නුඹ දෙපල නොඑන්නට 

තහංචි පනවන්ට වුණා බිරිඳගේ බහට​

නුඹ හැදූ පිට කොන්ද ඇයයි ගැහැණිය බින් ද​

එරෙහිවිය නොහැකියෙන් නුඹව දැනුවත් කළෙමි

සමාවුව මැනව මට  මා වැදූ අම්මේ

 උරණ වෙන්නට එපා මා එක්ක තාත්තේ 

 

මල්ලිකා එම් බණ්ඩාර​

6. 04. 2026

 

Sunday, 7 June 2026

ළා බෝපත් තැලී ගියා

 සිරිවැඩඋන් මහ බෝමැඩ සෙවනේ අභිජාතා

දකුණත් ශාඛා වැඩමෙව් සිරි සඟමිත් මාතා

රන් තලියේ හිඳි සමිඳුන් හොවමින් රජ දෝතා 

මව්වරුනට දුන් උරුමය කෙළෙසුවෙ කිම මෑතා?


මව් සෙනෙහස බිඳී ගියා කහවනු පොදි බැම්මේ

වැටද නියර එක හුස්මට පැළපත​ කා දැම්මේ

ළා බෝපත් තැලී ගියා දළ සුළඟේ ගැම්මේ

මහමෙව්නා සෙල් පිළිමය ඉකිබින්දා අම්මේ

 

විත් බිඳ දමන රොන් මුවරද එකතු කළ

මත් බමරුන්ට සංසිඳවන පිණිස දොල​

පත්මෙක සුවඳ සත් සිය ගව් හමන කල​

​සත්හට පත් විපත සකිසඳ කිමද බල​


රාගිනි මැළ දළුලනකොට වස් දොස් නැති නිම්මේ

රත් පළසට බොල් බිජුවට පූදින්ටද දැම්මේ

තිස්තුන් කෝටියක් දෙවිඳු දිව්වා එක පිම්මේ

ඇත්තුත් කන්තල වැනුවා රන්මැලිසෑ බැම්මේ

 

රජ මැතිඳුන්  පුද පෙත්දී පඬුරු බඳින පෝදා

ළඳුනට කිළිකුණු වැට බැඳ පැනවිණි නෙක බාදා

මළකුණකට දවටා ඇති රන් සළු පිළි සෝදා

රන්වැට ළඟ වැඳ වැටෙන්න යමු  තුන් සිත පාදා


මල්ලිකා එම් බණ්ඩාර​

 31. 05. 2026

Friday, 3 October 2025

ළමා දිනය​




 දරුවන්ට එක දවසක්! නොව, දරුවන් ගේ සෑම දවසක්ම විශේෂ දවසක් ලෙස සැලකිය යුතුයි. මන්ද දරුවකු කුඩා මී අඹ පැලයක් ලෙස සැලකා, සුදුසු පසක, ඉඩකඩ වාතාශ්‍රය සහිත තැනක, ඒ පැලයට වැඩෙන්නට අවශ්‍ය නිසි දිය පොහොර සපයා, සාත්තු සප්පායම් කළොත් පමණක්, යහමින් මල් පල දරා යහ ගුණ සුවඳ පිරි රස ඕජාව සහිත මී අඹ අස්වනු නෙළන්නට හැකිවෙනු ඇත​. එනිසා අනවරත රැකවරණය යටතේ මේ ජාතික ධනය සුරැකීම සඳහා දෙමව්පිය වැඩිහිටි පාලක කාරකාදීන් උයන් හිමියන් ලෙස නොව, යහපත් උයන්පල්ලන් වියතුය​. අනාගත පුර වැසියාගේ අවකාශය වැඩිහිටි මිණුම් දණ් ඩෙන් මැන සීමා මායිම් ලකුණු කිරීම අසාධාරණය​.


මල්ලිකා එම් බණ්ඩාර​

2. 10. 2025

Wednesday, 30 April 2025

පන්නම

 

පුරන පන්නම් පැදුර ගෙනවිත්

 පිල්කඩේ දිග හරිනවා

නඟන පත් ඉරු එලන අතරේ

දහක් සිතුවම් මැවෙනවා

 

නුඹේ හෙට ගැන රටා පන්නම්

දමා මෝවිට වියනවා

සුරුහමට ඒ පැදුර ගෙනෙහින්

පැදුරු ආණේ තියනවා

 

නිසරු පොළොවේ දිය පොහොර ඇද​

පිච්ච වැල සේ ඇදෙනවා

දළු කරටිලා නැවුම් සුවඳින්

මලක් සේ නුඹ පිපෙනවා

 

දෙව්ලොවෙන් බට දූතිකාවක්

විලස නුඹෙ රුව දිළෙනවා

ගීතිකාවන් ගැයෙන මොහොතක​

පුදසුනේ නුඹ තබනවා

 

මල්ලිකා එම් බණ් ඩාර​

30. 04. 2025

Friday, 21 March 2025

පරාජිත නුවරක

 

නුඹ හිඳී මා අසල හිඳගෙන

හෙලන සුසුමක් ඇසෙන මානේ 

ඒත් හිත වැහිළිහිණියකසේ

සැරිසරයි සක්වළ ඉමේ

 

අස් ලොමක දුර නමුදු අප'තර​

ගව් සගව් හිඩැසක්සේ තැනී 

දෙකඩ කරවන එකම කරුණක්

මහා පවුරක්වී  මැවේ

 

දෙගම් බඩ හිඳ තැනූ පහුරෙන්

එතෙර වෙන්නට අයුරින්

රළු පරළුවී ගඟ ගලායයි

මුරුගසන් වැහි වැටෙනසේ

 

ගෙතූ මල් දම් නැඟූ රන් දද

චණ්ඩ සුළඟේ තෙරපිලා  

තොරණ පාමුල බිම පතිත විණි

අකුණු පහරින් ගිනි වෙළා

 

පවුරු පදනම් සුණු විසුණු විය​

නුවර දොර'ගුළු  දෙදරවා   

 බිඳුනු අසිපත හුදකලාවිය​ ​

ඉන්ද්‍රඛීලය සසළවා  


මල්ලිකා එම් බණ්ඩාර​

21. 03, 2025

Monday, 17 March 2025

උරහිසක් ඇවසියි!


උරහිසක් ඇවසියි!

අණබෙර ලැවූ මුත්

ගම් නියම් ගම් දොවා

හෙලෙන්නට කඳුළක්


සෝදා පාළුවූ ළතෙත් නැති

මිනිස් පුරවරයේ තැනක

ඇද හැළෙන්නේ කෙලෙස

සෙනෙහසක ගඟුළක්


සිරි කාළකණ්ණි වත සේම

පිරූ පින් මදිවීද සමරන්න

පින්සර කුමරියට

හත්දොහේ රජ මඟුළක්


ගඳ කළල් ගොහොරුවේ

සූකර රැලක අභිමුව

විසුළ මුතු අහුරු මත

කුමට නම් ගෙතුවාද මල්දම්


මල්ලිකා එම් බණ්ඩාර

6. 03 . 23

Tuesday, 11 March 2025

වස්සානයේ මල්…

  


 වස්සානයේ මල් පිපෙන හිමිදිරියේ

හීන් අව්වැල්ලක් ලෙසින්

නැවුම් දවසක් අරන් ඇවිදිල්ලා

යන්න ඇත්නම් යළිත් පියමැන

නුඹ අතින් අල්ලා

 

පිනි තරළ මුතු ලතා ගිළිහෙන

නෙතු සඟළ මුල රහස් කොඳුරන

හද දෙවොල රන් පහන්දැල්වෙන​  

හිනා අහුරක් එකතු කරගෙන​- යළිත් එනවානම්

 

තිඹිරි ගේ තුළ ඉපිද මියැදුන

ප්‍රේමයේ අනුහස දරාගෙන​

දෙනෝ දාහක් අතර හිටියත්

අපි හිනාවෙමු හැමට රහසින්

ඒ සුවඳ ළෙහි තුරුළු කරගෙන​

 

මල්ලිකා එම් බණ්ඩාර​

 11. 03. 2025

වැන්දඹුවකගේ ප්‍රේමය​

 

සතුරු නුවරක අතරමං කර​

මිදෙන්නට අපවාදයෙන්

පිටව ගියදා වසා හද​ ලෙන

සෙල්මුවා පිළිමෙක​​​ මෙන්

 

ගැඹුරු මුහුදක ගිලා බැස ගිය

කොදෙව්වේ ඇස් මානයෙන්

නුඹ හිඳින්නැති නිසල වෙනතුරු

සසල දළ රළ කාලයෙන්

 

හිරුද සඳු නැඟ දියව ගිය මුත්

දශක ගණනක් පහුවෙලා

පිරූ පෙරුමන් පැතූ පැතුමන්

නොමැත තවමත් ගිළිහිලා​

 

මහද අරණේ සුවඳ ඉහිරුණ

ප්‍රේමයේ සුහුඹුල් මලින්

විරහ තාපය නිවාලූ සඳ​

රාගයේ විසකුරු දළින්


දියව යන අද හෙටක් වෙනු මිස​

පැතුම් කඳු හෙල් තැනිතලා

නික්ම යන දෙස බලා ඉනු මැන 

කාලයේ දෙණි පෙත් බලා

 

මල්ලිකා එම් බණ්ඩාර​

11. 03. 2025

Wednesday, 5 March 2025

ඕක් ගහෙන් සමු ගනිමි


සඳ පහණ දියවෙලා මිහිමතට ගලන සඳ​

කවුළු දොර පෙම්කෙළින ළහිරු කෙඳි අඳුර බිඳ​

තරු කැකුළු පිපෙන මැදිය මෙත් සිටි පසෙක හිඳ​

අවසරයි සමු ගන්න සෙනෙහසින් ඇඳිළි බැඳ​

 

මඳ සුළඟ හා සමඟ සිනා වේ සිළි සිළිය

කඳුළු පිනි කැට සළිත අතුපතර දොඩමළුය​

හුදකලා ඕවිල්ල නුඹට තනි රකිනු ඇති

නුහුරු නුපුරුදු මුහුණු හෙට දිනේ වඩිනු ඇති

 

නිහඬ සිතිජය ඉමේ හිරු ගිළෙන සැඳෑවක

නිළඹ වෙරළේ හැපෙන දුර ඈත ඉසව්වක​

නුහුරු මුත් සෙනෙහසින් වැළඳ නව දනව්වක

කෙම් බිමක් සොයා යමි ඉසිඹුලන්නට දිනක

 

දූ පුතුන් ගේ මතක එකමිටක මොළවාන

නික්ම යමි නිහඬවම එහෙත් සිත සසළාන

සැඳෑ සමයට උරුම මතක පොත පෙරලාන​

යන්න මට අවසරයි තෙත දෙනෙත වියළාන​

 

මල්ලිකා එම් බණ්ඩාර​

24.02. 2025

දෙවියන් අතහල දෙවොල​

 

ඉවුරු බිඳගෙන මුවවිටෙන් පැන

ගලා යන නදියක් වගේ

දුලා නෙතුපුල් කඳුළු දියවර

දරාගෙන යන්නට නොදී

 

බලා හිටියේ මැකී යන තුරු

නුඹේ රුව මහ මඟ දිගේ

සදාකාලික පෙම්වතුන් සේ

හිඳිමු අපි වෙන්වී වගේ

 

ළපැටි හිරු රැස් පෙඟෙන තරමට

තුසර පොද ගිළිහෙන උදේ

හිතත් සැලුනා සැහැසි සුළඟට

වරාමල් පොකුරක් වගේ

 

නිවී ගියසඳ ගිතෙල් පහනේ

සිළුව ලෙණ​ ගණඳුර බිඳී

හුදකලා වූ අසපුවේ ඉම

දෙවිඳු පමණක් වැඩහිඳී

 

සැඳෑ සමයේ තුවරලා දුම්

සුවඳ​ අතරින් වෙර සිඳී

සිහින් සරකින් යාතිකාවක්

​මිමිණුනා සුළඟේ රැඳී

 

මල්ලිකා එම් බණ්ඩාර​

24.1.2025

විසිවසරක් ගෙවී ගිය සඳ​

 

කුළුඳුල් පුතු යොවුන් වියෙ දොරටුව ගාවා

මියැදුන දිනේ ළසොවින් නුඹ මොර ගෑවා

 සරදම් ඉරණමේ රළු දුක් කඳ වාවා

හඳුරුක් කන්දසේ නුඹ නිසල වූවා


කැත්තේ උදැල්ලේ අව් වැහි පිනි මැද්දේ

නුඹ පිරිමියෙකු සේ වෙහෙසී බර ඇද්දේ

හත්දරු රැහැක් රැක්කා මැද යම යුද්දේ

කුසගිනි නිවන්නට ඇවිලෙන ගේ මැද්දේ

 

දෙදරා කැණිමඬළ පෙර කරුමෙට​ වාගේ

විරසක වෙලා පාහන්නට බැරි දීගේ

අග​හිඟ ඇතත් අතමිට සල්ලිය බාගේ

රැක ගත්තාය නුඹ අප සිහදෙන වාගේ

 

දුල් උඩු වියන් බැඳි සෙවනක්දී හිසට​

මල් පාවාඩ අතුරන්නට මගෙ පයට

​අම්මා වින්ද දුක් ගිනිකඳ මෙනෙහි කොට

කඳුළක් තෙර​පුනා නොදැනිම දෙනෙත යට​

 

වැහි ඇල්ලක් වැටෙන මොහොතක සඳපළුව​

ගිළිහෙණ තැනත් නුඹ පන්දම් ගිනිසිළුව​

රෑයම බකුසු උළමුන් හඬ බිඳ හෙලුව​

නුඹ බුදු බණකි අමදින මගෙ හද මළුව​

මුර කාවල් පිණිස නෙත​ නිදි වරාගෙන​

මා උදෙසාම දස පෙරුමන් පුරාගෙන

මහමෙර තරම් බර නොකරම පවාරණ

දිව ඔසුවක්ය නුඹ මගෙ දුක් නිවාරණ​  

 

 

මල්ලිකා එම් බණ්ඩාර​

5. 2. 2025

Saturday, 4 January 2025

පහන් තරුව​

 

දඟකාර​ සුමුදු රලපෙළ මුදු ළවැලි මත වැදී

සිළිලාර​ පෙන පොකුරු මල්දම් ගොතන යළි බිඳී

ළය මඬළ හිමවතේ සිව් කොන පිපුණ සුවඳ දී

සත් සමුදුරෙන් එහා මතකය තවම ඉකිබිඳී

 

පුරපෝය හඳ​ අහස් සයනේ කොනක නැවතිලා

 මුතුමුතුහාර පිනි සැළෙයි ​ දුහුළක​ සේද සුදු වළා

සුබ නැකත පහුවෙලා නෙතු විල දියඹ කැළතිලා

උළලේණියක හිඳී තුරුපත් අතර සැඟවෙලා

 

ගී පොතක් තියා හිත ළඟ දොර අගුළු නොලා

මී විතක් සෙයින් මා සියොළඟම සතපලා

කුරවී කොවුල් කූජන අතර දැවටිලා 

දුර පහන් තරුකාවක් වී ඉන්න පායලා

 

මල්ලිකා එම් බණ්ඩාර​

3.1, 2025

Sunday, 8 December 2024

තනි මඟක ගමන


සඳ කැරැළි පිණි කඳුළු

තුරු පතර ඉහිනවා

අරුණු රැස් හිස් අහස

සිතුවමක් අඳිනවා

විහඟ ගී මැඳ උමතු

බමර කැළ රඟනවා

නුඹ යන්ට ගිය දවස​

මතකයට ගලනවා

 

සීරිච්ච තැන් තාම

මතකයට නැඟෙනවා

පෑරිච්ච වණ කැළල්

යාන්තම් පෙනෙනවා

හීල්ලුම් හොරෙන්‍ ඉඳහිට

ඇවිත් එබෙනවා

සැහැල්ලුව බරවැඩියි

මඟ ලිහා දමනවා

 

කොළ හැළුණු රබර් ගස් 

 පාලුවක් ගෙනෙනවා

පිපුණ මල් පරවෙලා

නැවුම් මල් පිපෙනවා

ගුරුපාර දිග වැඩියි

දෙපා යුග රිදෙනවා

අදින් පසු තනි මඟක

ගමන මුල පුරනවා

 

මල්ලිකා එම් බණ්ඩාර​

8.12. 2024

 

Thursday, 31 October 2024

රජිකා

 ඔබද මා අතර ඇති           

කතා නැති වචන නැති 

නිමා කළ නොහැකිවූ 

හැඩතල  පමණ  ඇති 

සිතුවමක්  වගෙයි අප ප්‍රේමය​


මෝදුවී දළු රිකිළි

අතු පතර ලා වැඩුන​

සබඳතාවේ මිහිර​

ආදරයදැයි කියා නොදත්තෙමි.


උභයකුල  මුදුන් මල්කඩවූ

නුඹ අතින් 

 යෞවනේ දොරකඩදි  ඉඳුල්වූ


නුඹට නොදැනුන 

නුඹට නොහැඟුන​

හඳුනාගත නොහුණ​ මගේ හිත 

තුන්තේරවිල්ලක්‍ ය නුඹට​


කැළි කුණු කසට හැර, 

දොවා වෙල්ලෑවේ 

එළා පිල්ලෑවේ 

වියළා ගත් නැවුම්

සළු පිළි දෙවූ  නොමිලේම ​

 කුල සිරිතට බැඳුණු

රජස් සෝදන්නි මාය​


අදත් මා ළය පතුල 

අඟිරිගා නුඹෙ නමින් 

කල් බැන්ද​ ප්‍රේමයේ 

තෝතැන්න පුරන්වී යානොදී

.නුඹේ රජ මඟුලට සළුවඩන​

මා, නුඹේ රජිකාය​. 


මල්ලිකා එම් බණ් ඩාර​ 

31. 10. 2024

Friday, 9 August 2024

සහකම්පිත යොත

කුඹුරු දෙණි පෙත් උඩින්

ගම් දනව් වල ඉඳන්

උයන් තෙර කැදැල්ලට​

පියාඹා ඇවිල්ලා

නවමු හිරි මල් වියේ

 වින්ද දුක් කන්ද ළඟ

වැටි වැටී නැඟිටින්න​

වරම් ගත්තා සේම

සෝ සුසුම් නිවන්නට​

හිනා මල් නෙළන්නට​

මන්ද මාරුතය වී

විජිනිපත් සලන්නට​

එකතු වූ අයුරින්ම​

සමු ගන්න දවසෙදිත්

උර දිදී හිඳිල්ලා

සාමාන්‍යයෙන් මිනිස්සු සිහින දකිනවා. සමහරුන්ට හීන පෙනෙනවා, වගේම වෙනත් අය පෙන්වනවා වෙන්නත් පුළුවන්. මමත් සාමාන්‍ය මනුස්සයෙක් නිසා සීන දකිනවා. සමහර මිනිස්සු අභව්‍ය හීන දකිනවා. ඕනම මනුස්සයෙකුට හීන තියෙනවා, අනන්තවත්. නැත්නම් එවැනි ලොකු කුඩා සිහින දකිනවා, අඩුවැඩි වශයෙන්. සමහර විට මුළු ජීවිත කාලය පුරාවටම දැකපු හීන, හීන විතරක්ම බවට පත් වෙනවා. සමහර සිහින තියෙනවා, මහා භයානක හීන ඒවා.

මම දවසක හීනෙන් දැක්කා ශ්‍රී ලංකා සිතියම. ඒක හරියටම සමීප දර්ශනයක් විදියට ගත්තම, ගන්නොරුව ෆාම් එකේ, බීජ පර්‍යේෂණ ආයතනයේ පර්යේෂණ​ කරලා හදපු, හොඳින් ඉදුනම රත් පැහැගත් ඉදුනු පැපොල් ගෙඩියක් වගේ. ඉතින් පැපොල් ගෙඩිය මුහුදේ පාවෙනවා. මං ඒක අහුලා ගන්ට යනකොට, ඒක ඈතට පාවෙලා, ඒ හැඩයෙන්ම මුහුද පුරා දිගෑරෙනවා, හරියට ගොඩ බිමක් වගේ. ඊට පස්සේ, ඒක සමීපදර්ශනයෙන් මැකිලා දුරස්ථ දර්ශනයක් විදියට පෙනුණා. ඈත නිසා පැහැදිළි නැතිවුණත් මිනිස්සු ගොඩක් ඒ ගොඩ බිමේ ඉඳගෙන බිම හාරනවා, හරියට බිංකුණ්ඩෝ වගේ.

අනේ, ඒ බිම හාරලා… හාරලා, ලාවා මතුවෙනකම්ම හාරලා දැම්මොත්! හිතට ඇතිවුණේ මහා සෝකයක්.  ලෝක සිතියම පුරා නන්නත්තාර වෙලා ජීවිතේ අර්ථය සොයන්නට අපාදුක් විඳ,  අභියෝගයට මුහුණ දෙන විප්‍රවාසී ජනී ජනයාට, කවදා හෝ ආපහු  පයගහලා නිදහසේ එක හුස්මක් ගන්ට, බිං අඟළක් ඉතුරුවේවිද කියලා භය භ්‍රාරාන්තියකින් හිත කීරි ගැහිලා ගියා. මවි කුසෙන් බිහිවෙලා, පළවෙනි හුස්ම පොද නාස්පුටය අස්සෙන් ඇතුළට ගන්නකොට, දැනුණ තාම්‍ර වර්ණ පසෙහි සුවඳ නැවත ආඝ්‍රාණය කරන්ට නොලැබෙයි කියලා ළසොවින් තැවෙන්ට පටන් ගත්තා.

මගේ සිහිනය දියවෙමින් පැවති සමයක ඉදිරි කාර්තුවත් සරසවි සබඳතා සීගිරි බිතු තුවම් සේ ශෛලගත වෙනතුරු මගේ දෛනික කටයුතු වල නිරත වීමි​. 

Auckland විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ Research Unit එකට අයත් පර්‍යේෂණ කටයුතු වල, පදනම් මධ්‍යස්ථානයවූ මේ අංශයේ සේවය කළ පිරිස අතරින් අප දහ පහළොස් දෙනෙක්  දෛනික කටයුතු වල නියැළී සිටි මේ ස්ථානය, කොම්පියුටර් සහ ලිපිද්‍රව්‍ය ප්‍රින්ටිං සහ ඡායා පිටපත් ගැනීමේ උපකරණ  වලින් සමන්විත අංග සම්පූර්ණ සියළු කාර්යාල පහසුකම් සපයා තිබුණි. මේ සාමූහික සේවා ස්ථානයේ සිටි සියළු දෙනා විවිධ ක්‍ෂේත්‍රවලට අයත් විශේෂවූ පර්යේෂණ වල නියැලුණ අයවලුන්‍වූ අතර, අපේ කටයුතු නිදහසේ කරගෙන යාමට අවශ්‍ය ශාස්ත්‍රීය පර්‍යේෂණ පසුබිමකින් යුතු ස්ථානයක් විය​. විශාල ශාලාව මැද වෘතයක් සැකසෙන ලෙස මේස තුනක් යාකොට, ලෑලි පලකයකින් එකිනෙකින් ආවරණය වන පරිදි නිමවා,  මා ඇතුළු අප තිදෙනෙක්  ස්ථානගත කර තිබූණ. අප තිදෙනා වෙන් වන සේ අපේ මේස සංවිධානය කර තිබූ නිසා අපිට එකිනෙකා පෙනුණේ නැත. නමුත් කොම්පියුටර් තුන එකම ප්ලග් පොයින්ට් එකට සම්බන්ධකර තිබූ හෙයින් අප වාඩිවී සිටියේ ඉතා ළඟිනි. අප වෙන්වූ යේ මනාව නිමවූ ලෑලි පලකයකිනි.  

එක් උදෑසනක මා දවසේ වැඩ ඇරැඹීමේ ප්‍රථම කාර්යය ලෙස computer එක ළඟ​ වාඩිවී, (ස්මාර්ට් ඵෝන් නැති කාලයක් බැවින්) ඊමේල් පරීක්‍ෂා කළෙමි.  ඉහළ සිට පහලට විවිධ දැනුම් දීම් workshop, conference, meetings පිළිබඳ දැනුම් දීම්​ පසු කරන අතරතුරේ හෙඩින් එක විදියට, “Dear Mrs Bandara,” ලෙස ආමන්ත්‍රණය​ කර තිබූ ඊමේල් එක වවෘත කෙළෙමි. බැලූ බැල්මට​, ඒක සාමාන්‍යයෙන් මෙහෙදි ආමන්ත්‍රණය කරන විදියට වඩා වෙනස්.  ඊමේල් එකේ වාක්‍ය දෙකක් කියවා ගෙන යන විට, නාඳුනන කෙනෙක් විසින් කුමන හෝ හේතුවක් නිසා හෝ මා සම්බන්ධ කර ගැනීම අරමුණු කරගත් ලියමනක් බව වැටහුණා. මම පිටුව දිගේ පහලට දෑස් යැව්වෙමි.

 මා අමතා ඇති මේ පුද්ගලයා සැබවින්ම මා කවුදැයි හරිහැටි නොදැන සිටි බවය​. සිංහල නමක් ඇති නිසා මා ඔහුට උදව් කරනු ඇතයි යන විශ්වාසයෙන් අමතන්නට ඇතයි මට හැඟුණි මගේ දැස් නැවතුනේ, මා මෙතෙක් එම නමින් දැන සිටි එකම පුද්ගලයා මා අමතා ඇති බව දුටු කෙනෙහිය​.

"දුශ්‍යන්ත රොඩ්‍රිගෝ!"

නම දැකපු ගමන් මම යටි උගුරෙන් රැහැයියෙක් වගේ කෑ ගහන්ට ඇති. මගේ ප්‍රහර්ශය කොතරම් තීව්‍ර වීද යත්, අනික් පැත්තේ සිටි සගයින් දෙදෙන, විදුලි වේගෙන් නැඟිට, එකවර ලෑලි පලකය උඩින් මගේ මේසයට එබී බැලුව​.

“Surprised?” දෙදෙනම එකවර ඇහුව.

මම වාඩිවෙන ලෙස ඔවුන්ට අතින් සන් කළෙමි.

ඊමේල් එක අනුව මට වැටහුණේ, ඔහු මා දැන නොසිටි බවය. එය සැබවින්ම ආගන්තුකයෙකුට කළ ඇමතීමක් විය​. කවුරුන් හෝ ශ්‍රී ලාංකිකයෙකුට University of Auckland එකේ තොරතුරු දැනගැනීමේ පරමාර්ථයෙන් ලියා තිබුණි. ඊමේල් එක දෙවරක් කියවා, දුරකථන අංකය එවන මෙන් දන්වා, මම එකෙනෙහිම පිළිතුරු ලීව​. හවස මං ගෙදර ගිය පසු කෝල් කරන බව දැන්නුවද, ඔහු විසින්ම නියමිත වෙලාවට ඇමතුමක් දුන්නා.

මා, මා ගැන සඳහන් කළේ,

අපි දෙන්නාම 73 බැච් එකේ. මතක් කරගන්න පුළුවන්ද මන්දා, මම මල්ලිකා, රාමනාදන් හිටිය?

පැය භාගයක් පමණ අප කථා කළා. ඒ ජූනි මාසය මුල මට මතක විදියට​.

“මං ගෙම්බෝ කොරහට එකතු කරනව වගේ, මේ බැච් මේට්ස්ලා එකතු කරනව. ඔයා දන්නෙ නැතුව ඇති, අපි 73 බැච් එකේ සාමාජිකයෝ දෙසීයක විතර ලිස්ට් එකෙක් තියෙනවා මගෙ ළඟ. මං ඊමේල් කරන්නං දැන්මම”​​.

“මම දන්න යාළුවෙකුගේ දුවෙක්ට තොරතුරු වගයක් ඕන වෙලා තියෙනවා New Zealand විශ්ව විද්‍යාලයක කෝස් එකෙක් කරන්න. එයාට උදව්වක් කරන්න මං Google serch කරන කොට, සිංහල නමක් හම්බ වුණා. කාටහරි කමක් නෑ, ඊමේල් කළා​. බැලුවම හරිම කෙනෙක් හම්බ වෙලා තියෙන්නෙ”.

මේක නම් මහ පුදුමයක්. මම තනියම දැකපු ඒත් කවමදාකවත් ඉටුවේයයි අදහස් නොකළ නිකම්ම නිකං හීනයක්. හුදු මනස්කල්පිතයක්. මම දකින හීනය තවත් අය දැකලා , ඒකියන්නෙ ඒක කණ්ඩායම් හීනයක්!

දුරකථන ඇමතුම අවසන්වුණ වෙලාවේ හිට මගේ හිතේ රටක් රාජ්ජයක් දිනුවා වගේ සතුටක් දෝර ගලනවා. කවුරුන් නමුත් ඒ සද්ක්‍රියාවට දායකවූ හැමදෙනාම අගය කළ යුතුමයි.

සමකාලීන සහෝදරයාට අවශ්‍යවූ තොරතුරු හැකි ඉක්මණින් සොයාගෙන මම පහුවදාම සොයා ඊමේල් කළා.

ඉතින් වැදගත්මදේ මට අර නැතිවුණ, රජ්ජුව​​, 2005 වෙන කොට මට අත්‍යවශ්‍යමයයි දැනුණ අපව එකට බැඳ තබන දාමය​, ​ අහුවුණ එක​. අප අතර ඇතිවී තිබූ ඉවුරු දෑලක පරතරය එකට යාකරන ඒදඬක් දැන් ඉදිවෙමින් පවතින බව දකින්ට ලැබුණාම අප්‍රමාණ සතුටක් ඉහවහ ගිහින් තිබුණා. මොන විදියකින් හෝ අපි එකට ආව ගිය, සරසවිය පුරා එකට සැරිසැරූ, හැමදෙනාම එකම එක වරක්වත් දකින්න, නැවත චාන්ස් එකක් ලැබේදැයි යන සිහිනයක් පමණක්මවූ සිහිනය අහම්බෙන් සැබෑවීමේ සලකුණු පහල වීම මොනතරම් භාග්‍යයක්දැයි මම අමන්දානන්ඳයට පත්වීමි. නැවත සොයාගත යුතුයයි හැඟුණ බිඳී විසන්ධිවී ගිය දම්වැල් පුරුක නැවත පුරුද්දන්ට හීන දැක්ක මට, ඒ හීනය හීනයක්ම පමණක්‍ යයි බලාපොරොත්තු අත් හැර දමා තිබියදී දෑස් පනාපිට සැබෑවක්වී ඇතැයි හැඟෙත්ම මට දැනුණේ අප්‍රමාණ සන්තුෂ්ටියකි. මනෝරථ පූර්ණ වීමේ තෘප්තියකි.

ඉතින් ඊළඟ GAP-73 - get together එකට එන්ටත් පොරොන්දු වුණා. මගේ අත්දැකීම වැනි තත්වයකට මුහුණ දෙන ඕනෑම කෙනෙකු ගැන හැඟීමක් හෝ සැලකිල්ලක් දැක්වීමට, සාමූහිකව බෙදා හදා ගැනීමක් අවශ්‍ය වෙලාවට ඒ සහකම්පිත යොත බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි කියලා මා විශ්වාස කළා.  

මල්ලිකා එම් බණ්ඩාර

June, 2012.