කුළුඳුල් පුතු යොවුන් වියෙ දොරටුව ගාවා
මියැදුන දිනේ ළසොවින් නුඹ මොර ගෑවා
සරදම් ඉරණමේ රළු දුක් කඳ වාවා
හඳුරුක් කන්දසේ නුඹ නිසල වූවා
කැත්තේ උදැල්ලේ අව් වැහි පිනි මැද්දේ
නුඹ පිරිමියෙකු සේ වෙහෙසී බර ඇද්දේ
හත්දරු රැහැක් රැක්කා මැද යම යුද්දේ
කුසගිනි නිවන්නට ඇවිලෙන ගේ මැද්දේ
දෙදරා කැණිමඬළ පෙර කරුමෙට වාගේ
විරසක වෙලා පාහන්නට බැරි දීගේ
අගහිඟ ඇතත් අතමිට සල්ලිය බාගේ
රැක ගත්තාය නුඹ අප සිහදෙන වාගේ
දුල් උඩු වියන් බැඳි සෙවනක්දී හිසට
මල් පාවාඩ අතුරන්නට මගෙ පයට
අම්මා වින්ද දුක් ගිනිකඳ මෙනෙහි කොට
කඳුළක් තෙරපුනා නොදැනිම දෙනෙත යට
වැහි ඇල්ලක් වැටෙන මොහොතක සඳපළුව
ගිළිහෙණ තැනත් නුඹ පන්දම් ගිනිසිළුව
රෑයම බකුසු උළමුන් හඬ බිඳ හෙලුව
නුඹ බුදු බණකි අමදින මගෙ හද මළුව
මුර කාවල් පිණිස නෙත නිදි වරාගෙන
මා උදෙසාම දස පෙරුමන් පුරාගෙන
මහමෙර තරම් බර නොකරම පවාරණ
දිව ඔසුවක්ය නුඹ මගෙ දුක් නිවාරණ
මල්ලිකා එම් බණ්ඩාර
5. 2. 2025
No comments:
Post a Comment