Tuesday, 11 March 2025

වැන්දඹුවකගේ ප්‍රේමය​

 

සතුරු නුවරක අතරමං කර​

මිදෙන්නට අපවාදයෙන්

පිටව ගියදා වසා හද​ ලෙන

සෙල්මුවා පිළිමෙක​​​ නියා

 

ගැඹුරු මුහුදක ගිලා බැස ගිය

කොදෙව්වේ ඇස් මානයෙන්

නුඹ හිඳින්නැති නිසල වෙනතුරු

සසල දළ රළ කාලයෙන්

 

හිරුද සඳු නැඟ දියව ගිය මුත්

දශක ගණනක් පහුවෙලා

පිරූ පෙරුමන් පැතූ පැතුමන්

නොමැත තවමත් ගිළිහිලා​

 

මහද අරණේ සුවඳ ඉහිරුණ

ප්‍රේමයේ සුහුඹුල් මලින්

විරහ තාපය නිවාලූ සඳ​

රාගයේ විසකුරු දළින්


දියව යන අද හෙටක් වෙනු මිස​

පැතුම් කඳු හෙල් තැනිතලා

නික්ම යන දෙස බලා ඉනු මැන 

කාලයේ දෙණි පෙත් බලා

 

මල්ලිකා එම් බණ්ඩාර​

11. 03. 2025

No comments:

Post a Comment