Wednesday, 26 August 2026

පන් පැදුර

 පන්ටික නෙලා තොටමුණ ළඟ පිල්ලෑවේ

උල් දිය විලෙන් දෝවා ගෙට ගෙන ආවේ

අහසක් උස හීන මැද පන්නම් ලෑවේ 

මගෙ පන් පැදුර එලුවා පිල මැද්දෑවේ 


ඊයෙත් සතපවා වැහිබර හැන්දෑවේ 

මගෙ ගත සිත නිවපු පැදුරට හිත්ලෑවේ

ගෙට පැන පැදුරු ආණෙන් අරගෙන දීවේ

ජඩ කම කළේ කවුරුන් දෝ ඇන්නෑවේ 


දෙන්නට තුලාබර නැතිකොට වපසරිය 

කල් යල් ගිහින් පන්නම් පිරුමත් බැරිය​

ජාතිත් නපුරු හිත් ඉපදීමත් බැරිය​

මගෙ පන් පැදුර දෙන අය නෑසියො සරිය​


මල්ලිකා එම් බණ්ඩාර​

26. 08. 2026

 

Saturday, 22 August 2026

කඳු වළල්ලෙන් එපිට

 

ඉරා  මිහිදුම් පටළ මතකයේ වන පෙතේ

කඳු මුදුන සිප හමන මුදු මන්ද මාරුතේ

තැම්පාන ජල තලය ජනිත වෙයි මගෙ හිතේ

හීන් රල පතර සේ විසිර යන දස අතේ

 

සිනා සලනා සැණින් යළිඳු කෑකෝ ගසන​

කෙළි දෙලෙන් එළිමහන් රඟ මඩළ වැද කෙළින​

යොවුන් කුමරියො ජාල පන්දුවට පොර බදන​

මගෙ මතක මීන රැල​ දැල් පටින් සිර කරන​

 

නුඹෙ නැවුම් ම හාස යළි යළිත් ලුහුබඳින​

මගෙ දෑස කෙළි බිමේ සිසාරා යයි සැණින​

නුඹේ රුව බොඳ වෙලා මැකීයයි නොමහැඳින​

නුහුරු  පරිසරය මැද තනි දැනේ මම හිඳින

 

කඳු වළල්ලෙන් එපිට ගම් පියස කෙලවරේ

ඒ සොඳුරු සෙවන හැර ආ නමුදු නුඹ කෙරේ 

බැඳුණු සිත නොවෑවෙන  නුහුරු නුපුරුදු පුරේ

හිඳිමි නුපුබුදු කැකුළ සඟවාන ළය තුරේ


අහස කොතරම් දුරද නොපෑහෙන මානයේ

පහස නොලදිම් සරද සඳ නැඟුන යාමයේ

තරු එළිය දුටිමි  සසලවන සන්තානයේ

මියුලැසී හිඳින් යළි හමුනොවන මානයේ

 

මල්ලිකා එම් බණ්ඩාර​​

9.07.2026





 

Thursday, 20 August 2026

බොල් පිනි

 සුදු පිරුවටයේ දිස්නය මතුවී 

නොපණත්කම් මැකිලා යනවා 

සුදු කර පටියේ අනුහස හින්දා 

වෙල්ලෑවේ දා සෝදනවා


රන්සළු පටකින් සියොළඟ දවටා 

වැදි බණ බිජුවට වපුරනවා

මල් පල නොදරන සත්වග පණ කෙඳි

බොල් පිනි ඉහිලා දිළියෙනවා


හේවිසි පසතුරු ගොස මැද නෑසෙන​

බුදුබණ සුළඟේ විසිරෙනවා

කිරිදිය දහරින් දොවිනා බෝපත්

ගිළිහී මිහිමත වැතිරෙනවා


මල්ලිකා එම් බණ්ඩාර​

20. 08. 2026

Sunday, 26 July 2026

පුංචි මිණිබිරී ඉපදුනදා


 

පුංචි මිණිබිරී ඉපදුනදා  

 

ගජ මුතු අහුරක් වාගේ

සිඟිති දෙතොල් මත පොපියන​

සිනා ගඟුල් ඉහිරෙද්දී

ඒ මුතුලැල් හුය ලන්නට

එක අහුරට පොර කෑවා

 

ටිකිරි දෙනෙත් යුග අතරේ

නැවුම් ලොවක මා රඳවා

මිණි කිරුළක් සිරස සදා

මා සිහසුන් ගත කෙරුණා

 

මල් මත පිණි වතල උදේ

කුරුළු රෑන් හනික ඇදේ

රන් දොරටුව ඇරුණු ලොවක

රිදී සීනු සෙමින් බිඳේ

 

කිරිසුවඳයි ගෙදර පුරා

කිරිකැටි දියණිය හිඳිනා

කිරි සඳපත නැඟෙන තුරා

බලා හිඳිමි දවස පුරා

 

මල්ලිකා එම් බණ්ඩාර​

19. 09. 2009

 

 

 

The day my little granddaughter was born...

 

Like a cluster of precious pearls,

As ripples of laughter

Danced upon her tiny lips,

All vied to gather

That string of pearly smiles.

 

Holding me within a fresh new world

Between those sparkling eyes,

Crowning my head with a diadem of gems,

She seated me upon a throne.

 

In the dew-kissed morning,

Flocks of birds hasten by;

In a world where the golden gate has opened,

Silver bells chime softly.

 

The scent of milk fills the home

Where the tender infant daughter rests;

I wait throughout the day

For that milky moon to rise.

Mallika M Bandara (19.09. 2009)

Thursday, 9 July 2026

නුපුබුදු කැකුළු

 

 

ඉරා  මිහිදුම් පටළ මතකයේ වන පෙතේ

කඳු මුදුන සිප හමන මුදු මන්ද මාරුතේ

තැම්පාන ජල තලය ජනිත වෙයි මගෙ හිතේ

හීන් රල පතර සේ විසිර යන දස අතේ

 

සිනා සලනා සැණින් යළිඳු කෑකෝ ගසන​

කෙළි දෙලෙන් එළිමහන් රඟ මඩළ වැද කෙළින​

යොවුන් කුමරියො ජාල පන්දුවට පොර බදන​

මගෙ මතක මීන රැල​ දැල් පටින් සිර කරන​

 

නුඹෙ නැවුම් මදහාස යළි යළිත් ලුහුබඳින​

මගෙ දෑස කෙළි බිමේ සිසාරා යයි සැණින​

තනිකමක් වෙළාගෙන​ සිහින් සැතකින් සිඳින​

නුඹේ රුව බොඳ වෙලා මැකීයයි නොමහැඳින​


කඳු වළල්ලෙන් එපිට ගම් පියස කෙලවරේ

ඒ සොඳුරු සෙවන හැර ආ නමුදු නුඹ කෙරේ 

බැඳුණු සිත නොවෑවෙන  නුහුරු නුපුරුදු පුරේ

හිඳිමි නුපුබුදු කැකුළ සඟවාන ළය තුරේ

 

අහස කොතරම් දුරද නොපෑහෙන මානයේ

පහස නොලදිම් සරද සඳ නැඟුන යාමයේ

තරු එළිය දුටිමි  සසලවන සන්තානයේ

මියුලැසී හිඳින් යළි හමුනොවන මානයේ

 

මල්ලිකා එම් බණ්ඩාර​​

9. 07.2026

Friday, 26 June 2026

තහංචිය

 


කයියෝරුවෙන් නැඟෙන  දුම්‍ රොටුව

ලන්තෑරුමේ දුබල එළිබිඳට​

පෙම් බඳින මෙරු රැලට නොබැණම​

බොයිලේරුවෙන් පෙරෙන තේ කහට​

එකින් එක වක්කරන නෝනා මාර්ක් ටින් වලට​

නුඹ අතින් හදන තේ කහට එක 

තොළ ගගා පොල් හකුරු හපන්නට

ගම්තුලානේ ඩිංගි බණ්ඩලා

පිය මනිති සංගුවේ නාදයට​

 

හැළි වළං අහුරාපු එකපිටට​

දුඹුළු බැඳි දුම් මැස්සෙ සෙවන යට​

 කොළොම්ඹුවෙ ඇනබාන​

 තාච්චියෙ කරකැවෙන ආප්පේ තාලයට  

  බූමිතෙල් කුප්පියේ කදෝපැණි දැල්ල ලඟ​

 හදන කඩයප්පමට යොමා නිදි බර දෑස​

දැළි වැකුණ චීත්තේ නෙරිපටින් පිරිමඳින​

අම්මාගෙ රුව ඇඳෙයි සසර මංපෙත ඉමක​

 

පුරා හතළිස් වසක් කඩපිලේ

ලෑලි බංකුව නුඹට සිහසුනක් වෙද්දි

තුන් මහල් ප්‍රාසාද ඉදිකෙරූ අපෙ නමට

 

 රාස්සිගෙ මෑ වැලේ කරටියට නඟින්නට​​

හිණිපෙත් තනා දුන් මා-පියන්වූ නුඹට​

මගෙන් සිදුවුණෙ කිමැයි නිසැකවම කිව නොහැක​.

 

උපන් දින සාදයට නුඹ දෙපල නොඑන්නට 

තහංචි පනවන්ට වුණා බිරිඳගේ බහට​

නුඹ හැදූ පිට කොන්ද ඇයයි ගැහැණිය බින් ද​

එරෙහිවිය නොහැකියෙන් නුඹව දැනුවත් කළෙමි

සමාවුව මැනව මට  මා වැදූ අම්මේ

 උරණ වෙන්නට එපා මා එක්ක තාත්තේ 

 

මල්ලිකා එම් බණ්ඩාර​

6. 04. 2026

 

Sunday, 7 June 2026

ළා බෝපත් තැලී ගියා

 සිරිවැඩඋන් මහ බෝමැඩ සෙවනේ අභිජාතා

දකුණත් ශාඛා වැඩමෙව් සිරි සඟමිත් මාතා

රන් තලියේ හිඳි සමිඳුන් හොවමින් රජ දෝතා 

මව්වරුනට දුන් උරුමය කෙළෙසුවෙ කිම මෑතා?


මව් සෙනෙහස බිඳී ගියා කහවනු පොදි බැම්මේ

වැටද නියර එක හුස්මට පැළපත​ කා දැම්මේ

ළා බෝපත් තැලී ගියා දළ සුළඟේ ගැම්මේ

මහමෙව්නා සෙල් පිළිමය ඉකිබින්දා අම්මේ

 

විත් බිඳ දමන රොන් මුවරද එකතු කළ

මත් බමරුන්ට සංසිඳවන පිණිස දොල​

පත්මෙක සුවඳ සත් සිය ගව් හමන කල​

​සත්හට පත් විපත සකිසඳ කිමද බල​


රාගිනි මැළ දළුලනකොට වස් දොස් නැති නිම්මේ

රත් පළසට බොල් බිජුවට පූදින්ටද දැම්මේ

තිස්තුන් කෝටියක් දෙවිඳු දිව්වා එක පිම්මේ

ඇත්තුත් කන්තල වැනුවා රන්මැලිසෑ බැම්මේ

 

රජ මැතිඳුන්  පුද පෙත්දී පඬුරු බඳින පෝදා

ළඳුනට කිළිකුණු වැට බැඳ පැනවිණි නෙක බාදා

මළකුණකට දවටා ඇති රන් සළු පිළි සෝදා

රන්වැට ළඟ වැඳ වැටෙන්න යමු  තුන් සිත පාදා


මල්ලිකා එම් බණ්ඩාර​

 31. 05. 2026