සඳ කැරැළි පිණි කඳුළු
තුරු පතර ඉහිනවා
අරුණු රැස් හිස් අහස
සිතුවමක් අඳිනවා
විහඟ ගී මැඳ උමතු
බමර කැළ රඟනවා
නුඹ යන්ට ගිය දවස
මතකයට ගලනවා
සීරිච්ච තැන් තාම
මතකයට නැඟෙනවා
පෑරිච්ච වණ කැළල්
යාන්තම් පෙනෙනවා
හීල්ලුම් හොරෙන් ඉඳහිට
ඇවිත් එබෙනවා
සැහැල්ලුව බරවැඩියි
මඟ ලිහා දමනවා
කොළ හැළුණු රබර් ගස්
පාලුවක් ගෙනෙනවා
පිපුණ මල් පරවෙලා
නැවුම් මල් පිපෙනවා
ගුරුපාර දිග වැඩියි
දෙපා යුග රිදෙනවා
අදින් පසු තනි මඟක
ගමන මුල පුරනවා
මල්ලිකා එම් බණ්ඩාර
8.12. 2024
No comments:
Post a Comment