Thursday, 10 December 2020

දෙදහස් විස්ස​ (2020)

 අද නොවෙම්බර් පළමුවනදාය​. මේ අවුරුද්දේ අන්තිම මාසයය​. අවිනිශ්චිත භාවයෙන්ම දවස් ගෙවී ගොස් මාස එකොළහක් ගෙවුනේ නිකං වියරු හීන දැක දැක ගෙවුණ රාත්‍රියක් වගේය​. අමුතුම ආකාරයේ පාඩමක් ස්වභාව ධර්මය විසින් උගන්වා ඇති බව දැනෙන්නේ දැන් ය​. අපිට ඕනෑ විදියටම ජීවත් වුණා මිස මිනිසුන් විදියට අපි පෘතුවිය මත ජීවත් වන බව අමතක කර සිටියෙමු. අපිට උගන්වලා තිබුණේ මේ මඟුල් සක්වල කියලාය​. අපිට ඔනෑ ඕනෑ විදියට මේ මිහිතලය මත මඟුල් නැටුවා මිස​, මඟුල් කෑවා මිස ස්වභාව ධර්මයත් අපිත් අතර කුමන හෝ සම්බන්ධයක් ඇතැයි අනුමාන කරන්නටවත් අපෝසත් වීමු. අමතක කළෙමු. දැන් අපිට නිදහසේ කිසිම දෙයක් කරන්නට බැරිතරමට තහංචි වැටී ඇත​. ඒවත් ස්වාභාව ධර්මයට ඕනෑ පිළිවෙලටය​.

අපි මිහිතලය ගිනි තැබුවෙමු. ගහකොළ සතා සීපාවා බලහත්කාරයෙන් විනාශ කළෙමු. ජල උල්පත් හින්දෙව්වෙමු. ගිණිය නොහැකි තරම් දීර්ඝ කාලයක් මිහිමත තැන්පත්ව තිබූ අයිස් ආවරණය දිය වෙන්නට වායු ගෝලයට විෂ වායු එක්කර උෂ්ණත්වය වැඩි වීමට සැලස්වීමු. ස්වභාවික හැමදේම අස්වාභාවික කිරීමට අවශ්‍ය පසුතලය සකස් කළෙමු. බලය සහ ධනය වෙනුවෙන් අපේ මිනිසත් බව පාවා දුනිමු. දැන් අප ස්වභාවධර්මයෙන් පරිත්‍යාග කරන ලද හුස්ම පොද  අහිමිවේයැයි භ්‍රාන්තියට පත්ව සිටිමු. 

 මේ ඇරැඹෙන්නේ නව යුගයක නව උපතක් විය නොහැකිද​? මේ අලූත්ම පන්නයේ නව යුගයක ආරම්භයක් විය නොහැකිදැයි මට සිතේ. එය පටන් ගත යුත්තේ තොටිල්ලෙනි. දෙවියන් හෝ විශ්වය ගැන තබා ලෝකය ගැනත් ඇති අල්ප මාත්‍ර දැනුම සහ අවබෝධය නිසාදෝ  මට දැනෙන්නේ මේ අවුරුද්ද, ඒ කියන්නෙ 2020, ඉතා කෙටි අවුරුද්දක් බවය​. කොහොමත් ලෝකය 'abnormal' මය. එහෙව් එකේ අවුරුද්දකට මාස දොළහක් තිබුණත් මට, දැනෙන්නේ මේ අවුරුද්ද මාස දෙකකට සීමා වු බවය​. ඒක සිද්ධවුණේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙක එක්තරා රමණීය දේශයක සංචාරයකින් පසුවය​. ආපහු ආව ගමන් අපේ තරුණ නායිකාව බෝඩර් වහලා දැම්මාය. ඒ නිසා අර රම්‍යවූ දේශයේ ලැබූ කල්ප කාලයක් විඳිය හැකිවූ අත්දැකීම් විඳින්නට ලැබුණේ අල්ප කාලයකි. 

අපිට පමණක් නොව, පර්දාව එපායයි බෑඟිරිගාන අපේ ඥාති සමූහයාටත්, මුඛවාඩම් බඳින්නට සිදුවීම, දෛවයේ සරදමක් යයි මට සිතෙන්නට පටන් ගත්තේ, පහුගිය මාස නවය තුළදීය​. එක අතකින් මනුස්සයෙකුට බුද්ධිය  මුහුකුරා යෑමට හෝ යමක් 'realize' වෙන්නට​ මාස නවයක් හොඳටම ප්‍රමාණවත්ය​. කළලයක් වුණත් මව් කුසක වැඩෙන්නට මාස නවයක්ම සම්පූර්ණ විය යුතුය​.

ඉතින් අර සංචාරයේදී මට, එම දේශයේ  විද්‍යා, කෘෂි හා භෝග, ​ ආර්ථික විද්‍යා සහ​ දේශපාලන විද්‍යාව පිළිබඳ වියතුන් පිරිසකගේ සාකච්ඡා වට කීපයකට සවන් දීමේ මහඟු අවස්ථාවක් ලදිමි. මේ කතාබහ අතරින් මගේ කුතුහලය නොබිඳී රඳවා ගනු ලැබුවේ ඒ සුන්දර දේශයේ  දේශපාලන ක්‍රමය පිළිබඳව තොරතුරුය. ඇසුනු තර්ක විතර්ක සහ​ ඔවුන් ගේ විග්‍රහයන් අනුව නම්, පවතින පාලන ක්‍රමය, ග්‍රීක රෝම පාලන ක්‍රම වලටත් වඩා ප්‍රශස්ත බව පෙනෙන්නට තිබුණි. 

මා ඇසූ පරිදි, ග්‍රීක​පුර රාජ්‍ය ක්‍රමය අනුව වගේම මේ දේශයේත් සුළුතරය පුර වැසියන්ය. බහුතරය යටත්වැසි ප්‍රවේණි දාසයින්ය​. ඉඩම් හිමි ධනවතුන් ගේ වහලුන් ලෙස ආර්ථික සංවර්ධනයට අවශ්‍ය නිශ්පාදන ක්‍රියාදාමයේ කුඩා ඇණ මුරිච්චිවූ ඔවුන්ට අයිතිවාසිකම් දැන සිටියේ නැතුවා වාගේම​ දැනගන්නටද අවශ්‍ය නොවුණි. ජීවත් වීමට ලැබෙන අල්ප දෙයින් යැපී දෛනික වැඩපල යෙදුනා පමණි. දැන උගත්කම්? දැන උගත්කම් කුමටද? තිබුණත් හීන දීනව සිටීමෙන් මේ පුරයේ යටත්  වැසියෝ තෘප්තිමත් වූහ​. "නිදහස" යන්න ඔවුන් අර්ථකථනය කළේ, ස්වාමීන් රජ කරවීම උදෙසා තමන් දුක් විඳීමට දිවිහිමියෙන් කැප​වීමක් ලෙසය​. තමන් නම් කම් නැත. හත්මුතු පරම්පරාවක්ම ඊජිප්තුවේ පාරාවන්ට, හීබෲ  (ඊශ්‍රායෙල්) ජාතිකයින් මෙන් වහල් සේවයේ යෙදුන වහලුන් වීමටය. සිරකරුවන් වීමටය, ණයකරුවන් වීමටය. අවසන් පැරැන්ණන් කියන අයුරින්, කොළ පතත් පොල්කටුවත් අතට ගෙන මග මඟ යාචකයින් සේ ඇවිදින්නට සුදුස්සන් වීමටය​. 

ඇතම් රටවල වැඩවසම් ප්‍රවේණිදාස ක්‍රමයේ පැවති පරිදි, දැනඋගත් අය පවා තම දූදරුවන් පමණක් නොව බිරින්ඳෑවරු පවා තම ස්වාමින් ගේ පරිහරණය සඳහා පූජා කරන අතර; මෙපුර​  පුරුෂයෝ තමන් අත පත්වන ලාභ වරදාන වරප්‍රසාද අපේක්‍ෂාවෙන් මුනිවත රැක්කාහ​.  තමන්ට ලැබෙන වරප්‍රසාදවල ප්‍රමාණය සලකා ආත්මගරුත්වය බිම දමා පෑගූහ​. හීලෑකළ සුනඛයින් තම ස්වාමියා හමුවේ හැසිරෙන නිවට නියාලු බව හා සමානව නැට්ට වන වනා නිහඬ වූහ​. ඒත් අපි අහවල් පුර රාජ්‍යයේ, අහවල් කඳවුරේ සිරකරුවෝයයි, යටත් වැසියෝ යයි උදම් ඇනූහ​. සුනඛයින් තුමූටම​ නැට්ට පෑගී වේදනා දැනුන මුත් නිහඬ  වන්නාක් මෙන්, උන් තම ස්වාමීන්ට​ කීකරුකමට ලැජ්ජා භය ඇතිව හැදී වැඩී ඇති බව පෙන්නනටත්, ධනවත්ම සහ බලවත්ම​ ස්වාමියාගේ ගැත්තා හෙවත් වහලා යයි අන්අයට කියා පෑම ගෞරවයක් නම්බුවක්සේත්  සැලකූහ​. දරුණු ව්‍යාධියක් මෙන් ඔවුන් ගේ ලේ මස් සම් ඇට නහර විනිවිදව ඒ ගැම්ම ස්ථාපිත වී තිබිණි. 


හීබෲ මිනිසුන්ට මෙන් තමන් දෙවියන් විසින් මවා නිදහසේ ජීවත් වෙන්නට මහපොළොව උරුම කර දුන් බව ඔවුන්ට අමතකව ගොස් තිබිණි. තමන් නිවහල් මිනිසුන් බවට පත් කළ ඇතැම් ජන නායකයින්, රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා හෝ පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා හෝ පුංචි කඳු ගැටයට නැඟ ආපසු එන අල්ල-පනල්ලේ තමතමන් ගේ අත කණ කර ආයිත්තම් මකා, ගොන් වස්සෙකු තනා ඌට නමස්කාර කරන්නට පෙළඹුණ මනුස්ස කොට්ඨාශ මේ මහ පොළොවේ පය ගසා තිබූ බව පොත්පත් වල ලියා තිබේ. මිනිසුන් ඒ වගේය​. මනුෂ්‍යයා බෙහෙවින් දුර්වල සත්වයෙක් ලෙස හැසිරෙයි. තරාතිරමකින් තොරව, ​ඔවුන්ට ගහක් ගලක් දේවාලයක් කෝවිලක් පෙන්නන්ට බැරිය​. අතට විලංගු තරම් විශාල වනතරමට නූල් ගැට ගසා ගෙන, තඹ පත් බෙල්ලේ එල්ලා, ඇට මාල හෝ ඇට බෝල එල්ලා ගැනීම මෝස්තරයක් විය​. දුටු තැන කොස් කොටන්නාසේ බිම දිගාවී, දීපංකර බුදුන් වඩිනා මඟ පිළිසකර කරමින් සිටි බෝධිසත්වයන්ටත් වඩා තම ස්වාමීන් දෙපාමුල අප්‍රමාණ​ගෞරවයෙන් භක්තියෙන් ස්ත්‍රී පුරුෂ, වයස් භේද​යකින් තොරව​ වැඳ වැටෙති. 


අර උගතුන් කීවිදියට නම් දාසයින් ගේ කොඳු ඇට කෝමාරිකා පත්තක් මෙන් ඕනෑම තැනකින් කැඩිය හැකි මදයක් සහිතය. එය​ දියාරුය​.  ඔවුන්ට කොඳු ඇට රෑන සෘජුව තබා ගැනීම අපහසුය.​ ආත්ම ගෞරවය හෝ ආත්ම විශ්වාසය කියා දෙයක් දන්නේ නැත​.  ඒ නිසා ඔවුන්ට හේත්තු වෙන්නට යමක් අවශ්‍යමය​.  ඒ නොගැලපෙන පසක පැළකළ ආගන්තුක පැළෑටියක් මෙන් කොළ කොඩවීමේ රෝගයට හසුවීම නිසා දේශයේ අධ්‍යාපන ක්‍රමයේ හටගත් ඌණතාවක් විය හැකියයි සාකච්ඡාවේදී කියනු ඇසුණි​. දෙස් විදෙස් දැනුම් සම්භාරයන් ඇතුව, අත්දැකීම් තුළින් ලබාගත් අවබෝධයක් සහිත, අධ්‍යාපන විශාරදයින් සිටියදීත් ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් නොගන්නේ, ඌණතාව උග්‍රවී වඳවීමේ ඉඩකඩ සැලසීමටයයි කියනු ඇසුණි​. ස්වාමීන් විසින් දෙන ලද හෝ වීසිකරන ලද​ දෙයක් කාබී හෝ නොකා නොබී සෑහීමට පත්වන අයුරින් වහල් හිමියන් විසින් ඔවුන් ගේ මොළ සෝදා හිස් කබල් පිරිසිදු කර ඇත​. මේ අනුව ඒ රමණීයවූ දේශය, ප්‍රවේණිදාසයින් ගේ මරණීය නිහඬතාවයේ කැප කිරීම හමුවේ  දියවී යාමේ ඉඩකඩ අතිවිශාලයයි අර විද්වතුන් අනාවැකි පලකරන විට මගේ සිතද​ සසලවී ගියාය​.


මල්ලිකා එම් බණ්ඩාර​

1.12. 2020