Monday, 6 March 2023

සඳ කතා කරන්නීය​

 


දෙසතියක් පුරා එකදිගට ඇද හැළුණු අනෝරා වැස්සෙන් පසු අද ඉර පෑව්වේ ඉතාමත් පැහැපත් අහසේය. මුළු දවස පුරාම අහස නිල් වියනක් මෙන් දීප්තිමත්ව බැබලිනි. ඉඳහිට වළා රොදක් හිරු ආවරණය කළද නැවත මොහොතකින් තෙත පොළොව සිප ගන්නට  සමත් විය​. විවර කරන ලද ජනේලය තුළින් අහස දෙස බලන්නට ඕනෑවූ මුත්  අහස වෙනුවට මට පෙනුණේ ඝන සැරේට වැඩුනු දැවැන්ත ඕක් ගහේ අතු පතර පමණි.  හරිත වර්ණ වියන යටින්  ගලාආ රන්වන් සඳ එළිය  පොළොව මත වැක්කෙරෙමින් පැවතිණි. සඳ එළියෙන් අඳින ලද ඕක් කොළ වල සෙවැනැළි තණ පලස මත මනාව සිත්තම් වී තිබිණ​. ඕක් පත්වල හැඩය පැහැදිළිව දකින්නට හැකි තරම් සඳ එළියෙන් සෙවැනැළි සජීවී ලෙස නිර්මාණය වී ඇත.

සොභාව සෞන්දර්‍යයේ අත්‍යන්ත නිර්මාණශීලිත්වයෙන් මගේ සිත මෝහනය වූවාක් මෙනි. සඳ කැන් රටාවෙන්  සිත්තම් වුණ පොල් අතු  වල හැඩය අපේ ගෙදර මිදුල පුරා වැටී තිබුණ රාත්‍රී කාලයන් මගේ මතකයට පිවිසුණේ සැනෙකිනි. ළමා වියේදීත් යොවුන් වියේදීත් ඒ එකම අද්දැකීම මා විඳ ඇත්තේ අසීමිත මිහිරියාවකිනි. හඳුරුක්කන්ද පසුබිම් කරගත් තරු මල් යායක, මහත් අභිමානයෙන් සිනාසෙන සඳ පළුව දෙස මා බලා සිටියේ මොනතරම් ආහ්ලාදයකින්ද​?

කිරි සක වගේ හඳ පළුව1” 

සඳ ඇති රැයක මිදුලේ සක්මන් කරන අම්මා කියනු ඇසෙයි. ඒ මගේ නව යොවුන් වියේ දවසක විය හැකියයි, මම අනුමාන කරමි​. ​ මම මිඳුලට බසිමි. ඇයට අවශ්‍යව ඇත්තේ සඳ පහන් රාත්‍රියේ සුන්දරත්වය මා සමඟ බෙදා හදා ගන්නට බව මම දනිමි. ඉන් පසු අප දෙදෙන මිඳුලේ එහා මෙහා ඇවිදිමින් කතාවකට මුල පිරුවෙමු. එවැනි අනන්තවත් කතා මගේ ජීවිතයේ ළයාන්විත පාඩම් බවට පත්වූ බව මට මතකය​.

පුර හඳක්! අද දෙපෝය එහෙනම්. මගේ හිතට පැන නැඟුණ  ක්‍ෂණික සිත්විල්ල විය​. අද දෙපෝය යයි හැඟුණ මොහොතේම අම්මා අද සිල් සමාදන් වන්නට ඇතැයි මට සිතුණි. අකුණක් ගසන සැනෙකින්  අම්මා ජීවතුන් අතර නැතිබව මට මෙනෙහිවෙන්නට විය​. පුර සඳත් අම්මාගේ සඳ වතත් මා තුළ ඇතිකරන්නේ සංවේදනාත්මක සිතිවිලිය​. අම්මා ජීවතුන් අතර නැතැයි මට එක්වරම නොවැටහේ. විශේෂ යමක් සිදුවූ විට,  දුටු විට,  හිතෙන විට හෝ ඇසුණ විට,  ඒ දේ ගැන අම්මා සමඟ කතා කළ යුතුයයි සිතුන වාර අනන්තය​.  මේක අම්මට කියන්ට ඇත්නම්! යන සිතිවිල්ලත් සමඟ මම සැබෑ ලොවට අවතීර්ණ වෙමි.  අම්මා මිය ගොස් වසර ගණනක් ඉක්ම ගොස්  ඇති බව වැටහෙත්ම මගේ සිත සියුම් වේදනාවකින්  පිරිතිරීයයි. එවන් මොහොතක මගේ සිතට දැනෙන ආත්මභංගත්වය කෙතරම්දැයි විස්තර කිරීමට මම අපෝසත්මි.

මා මෙළොව තුළ තනිව ඇති බවක්, මගේ සිතැඟි බෙදා හදා ගැනීමට කෙනෙකු නැති බවක් මට දැනෙයි. එවන් විට ​ මාකෙරෙහි උපන් මහත්වූ ආත්මානුකම්පාවකින් මගේ සිත පිරී යන්නට පටන් ගනියි. දුක සැප දෙකේදිම "අම්මා හිටියානං"යන සිතුවිල්ලෙන් මම අසරණ වෙනු මට දැනෙයි. අම්මාගේ වචනයකින් ලද සහනය, නිවීම​,  දිරිගැන්වීම ළඟාකර දෙන්නට  හැකි අයෙක් මේ මිහිපිට නැති බව මම හොඳාකාරවම​ දනිමි. වියපත් වූ ගැහැණියක ලෙස වුවද, අදත් මා මේ ශක්ති ප්‍රභවය වෙතට ආසක්ත වෙමි. මේ ශක්ති ප්‍රභවය පතා ඉබාගාත වෙමි. මගේ ජීවිත කාලය පුරා “අම්මා”යන ශක්ති ප්‍රභවය මධ්‍යගතව මගේ ජීවිතයේ සිතුම් පැතුම් සියල්ල නිර්මාණයවී පෝෂණයවී තිබුණි.

යම් කෙනෙකුට තමන් ගේ අම්මා තරම් ප්‍රියමනාප සමීපතමයෙක් සකල ලෝක ධාතුවේම හමුවන්නේ නැතයි මම සිතමි.  අම්මා  තුළ පැවති ඒකාන්තික විවෘත භාවය මා අත් විඳ ඇත්තේ අම්මා කෙරෙහි වූ ඒසා මහත්  රා ගැනීමේ අතිමහත් හැකියාව තුළය​, පැවත්ම තුළය. දරුවෙකු බිහි කිරීම මෙන්ම ඒ දරුවා දිවිහිමියෙන් රැක ගැනීමත්  ජීවිතයේ එකම පරමාර්ථය ලෙස ඇය සැලකුවාය​. ඒ වෙනුවෙන් ගැහැණියකට කළ හැකි අත්‍යන්ත කැපකිරීම, කැප වීම  ජීවිත පරිත්‍යාගයෙන් පරිපූර්ණ කළාය​. එහෙත් මගෙන් පෙරලා යමක් සිදු විණිනම් එය අම්මා ගේ ව්‍යායාමයට අලගු තියන්නටවත් ප්‍රමාණවත් නැති බව මම දනිමි. වෙනස් ප්‍රතිචාර බොහෝ විය හැකිය. එවන් දේ මම අසා ඇත්තෙමි. අත්දැක ඇත්තෙමි.

දරුවන් වෙනුවෙන් ජීවිත පූජාවෙන් සටන් වදින, වැළපෙන, වැලහින්නියක මෙන් ඇය අඛණ්ඩව කැපවූවාය.​ ශුධවන්තියක මෙන් පිවිතුරුව මා වෙනුවෙන් සතුටුවන මිහිපිට සිටින අද්විතීය ප්‍රේමයේ ජීව​ප්‍රභවය ඇය වූවාය. ඒ උත්තරීතර ප්‍රේමයේ සංහිඳියාව දරුවන් වෙනුවෙන් ගලා යන්නට  ඉඩහල හැකිනම් ඒතරම් නිවීමක් ගැහැණියකට තවත් නම් තිබිය හැකිද​? ස්වභාව ධර්මය විසින් ප්‍රදානය කර​ ඇති එවන් වගකීමක් දරන්නට හැකි එකම ජීවියා අම්මාය.

“Look Mama! Its fullmoon day”. This one is big bear. That one is small bear”මගේ දරුවන් මට  අහස, අහසේ තරු රටා සහ ඒවායේ ගමන් මඟ කාලවකවානු පෙන්වූ වාර ගණන අනන්තවත් විය​.

ඒත් හද්දින්න, ඉරබට තරුව​, පහන් තරුව මට පෙන්වූයේ මගේ අම්මාය​. කාල චක්‍රය අනුව හඳපළුව වෙනස් වෙන හැටි ඇය මට කියා දුන්නේ ඇහැට දැක පුරුදු ස්වභාවධර්මයේ ආශ්චර්‍යයන් හඳුන්වා දිමක් විදියටය​. හඳපාන ඇති  ඇතැම් රාත්‍රියක අම්මා මට අපේ හුදකලා ගෙදර අවට ඇති සුන්දරත්වය විඳින්නට පෙළඹ වූවාය​.

" කහදිය වැක්කෙරුවා වාගෙ හඳ එළිය ටික. බලන්ට දුකේ බෑ අදනං"

ඒ අම්මා ගේ පරිසරය ආශ්වාදනයේ පෙරහුරුවය​. මම ගෙපිලෙන් මිඳුලට බසින්නෙමි. නිමක් නැති රන් දිය වැගිරුණ හුදකලා පරිසරය තුළ ඇත්තේ මන මෝහනීය සුන්දරත්වයකි. මුළු පරිසරයම විශාල පෙතිකඩක සිතුවම් කළ චිත්‍රයක් මෙනි. සඳ එළිය තුරුහිස් මත පතිතවී ඇත​. උස් පොල් ගස් වල කරටි අතරින් බේරී මහ පොලොව මත පතිතවන සඳ රැස්, පොල් ගස් වල සෙවැනැළි විසිතුරු මැස්මක් මෙන් නිම කොට ඇත​. මිදුලේ වැලිතලය මත අඹ සහ රඹුටන් ගස් වල සෙවැනැළි කැටයම් කර ඇත​.

"සමහර මිනිස්සුන්ට, හඳ එළියට පිස්සු වැටෙනවා කියන්නෙ ඇත්තද​?" .

 වරක් මා අම්මාගෙන්  ඇසුවෙමි.

"ඒ ඉතින් බොහොම සාන්ත හිත් තියෙන අයට​" එකෙනෙහිම අම්මා කීවාය​.

අම්මා එසේ කීවේ ඇයිදැයි මම සිතන්නට වීමි. එහි විශාල ගැඹුරක් ඇතැයිද එය වටහා ගන්නට තරම් මගේ ළමා සිත  වැඩී නැතයිද මට සිතුණි.

 සුන්දරත්වය නැත්නම් ස්වභාව සෞන්දර්‍යයේ විස්මිත බව සමඟ දෙමාපියන් සහ දරුවන්ට ප්‍රමුදිත වන්නට හැකි වීම කොයිතරම් භාග්‍යයක්ද​? ඒ සොඳුරු මතකය සුදු පැහැති පෙතිකඩක අඳින ලද ලියවැලක් මෙන් මගේ මතකයේ වැතිරී ඇත. ​මළානිකවූ ළපල්ලක් මත පතිතවූ ඉතා සිනිදු වැහි පොදක් මෙන් ඒ ප්‍රමෝදය​ මගේ හදවත​ සජීවී කරන්නේය​. පුරුද්දක් ලෙස මමද, මගේ දරුවන්ද බොහෝ විට ඔවුන් දකිනදේ අසනදේ බෙදා හදා ගත් ඒ ආකාරය මම මෙනෙහි කරමි. සමහර විට ඒ මහ පාරේ සිටින බලු පැටියෙක්, ගහක වසා සිටින කුරුල්ලෙක්, ගසක පිපුණ මල් විය හැකිය​. එසේත් නැත්නම් රූපවාහිණී වැඩ සටහන් විය හැකිය​. එවැනි බොහෝදේ එක්ව රස විඳීමට අපේ සිත් සතන් වල අපූරු ඒකාග්‍රතාවක් පැවති බව මට මතකය​.

මා කුඩා සන්දියේ අපේ ගෙදර පිහිටා ඇති කුඩා කඳු ගැටයට ඉහලින් මතුවී අපේ ගෙදරට කහදිය වැක්කෙරුවාසේ හඳපායන හැටි බොහෝ සැඳෑ කාලයන්හි බලා සිට ඉමහත් ආශ්වාදයක් ලැබුවෙමි. කුඩා දැරියක ලෙස සඳේ අවපස සහ පුරපස වැඩෙන සහ ක්‍ෂයවෙන අයුරුත්, පුර පස ගෙවී අවපසට  යන අයුරුත් නිරීක්‍ෂණය කිරීමෙන් මම මහත් ආස්වාදයක් වින්දෙමි.

පුරසඳ නැඟෙන සවස් යාමයේ, කුඹුරු යාය හරහා නියරවල් දිගේ, වක්කඩවල් පනිමින් අප පන්සල්ට ගිය පෝය​ දවස් මම මනසින් ආපසු කැඳවමි. එවැනි සුන්දර මතකයන් අපේ ජීවිතවලට කොයිතරම් නම් මිහිරි මතක එකතු කරන්නට ඇද්ද​? ඒ දිනවල අම්මා සෑම පෝයකටම සිල් සමාදන් වූවාය​.

සිල් සමාදන් වූ හැම පෝයකටම, තෙල් මල් පහන් සහ ගිලන් පසද සාදා අපි අම්මා බලන්නට ගියෙමු. බණ මඩුව පිරෙන්නට උපාසක උපාසිකාවන් බණ අසනු දහම් සාකච්චා කරනු දැක ඇත්තෙමු. විහාර මළුවේ බුදු පිළිමය ළඟ දණ නමා අපි උස් හඬින් ගාථා කීවෙමු. මල් ආසන වල අතුරනලද මල්වල සුවඳට මුසුවූ හඳුන්කූරු සහ පොල්තෙල් පහන්වල සුවඳ මගේ සිතිවිලි මනුලොවත් දෙව්ලොවත් අතර තැනකට ස්ථානගත වෙන අපූරු අත්දැකීම මහත් භක්තියෙන් අත්වින්දෙමි. අම්මාට ගිලන්පස පූජාකර ඇගේ දෙපා මත හිසතබා වැඳ නමස්කාර කර හවස ගෙදරට පිය මැන්නේ සිත් පතුළ මෝදු වී වැඩෙන​ අනන්තවූ පහන් සිතිවිලි සමුදායකින් සිත පුරවාගෙනය​. අපේ සිත් වෛරය​, ඊර්‍ෂ්‍යාව​, ක්‍රෝධය වැනි මනෝ ස්වභාවයන් ගෙන් වියුක්ත විය. එකිනෙකාට  ආදරය කරන්නට, ගෞරවය කරන්නට​, හිත් නොරිදවන්නට  අප පුරුදු වුණේ ඉබේටමය​.

අප ආපසු ගෙදර එනවිට සඳපත දියවී වෙල් යාය පුරා දෝරගලා යමින් පවතී. හඳපානේ වෙල් නියර මතින් ඇවිදගෙන  එන අප  නිල් ගොයමට පතිත වෙන සඳ රැස් අතරින් දිළිසෙන පෑදි  දිය කඩිති මනස්කාන්ත රිදී පැහැයකට හැරී ඇති හැටි බලා හිඳිමු. මැදෑලේ වතුර මියුරු සංගීතයක් මෙන් සිහින් සරින් ගලායන හඬට සවන් දෙමින්  මහ නියරට  ගොඩවදිමු. දෙවැට දිගේද සඳ කැන් කැටයම් වලින් ඔපකළ ගල් පාළමෙන් මැදෑල පැන අපි ගං ගොඩැල්ලේ දෙවැට දිගේ  ගෙදරට ඇවිදගෙන එන්නෙමු. අඳුරු සෙවැණැළි අතරින් ඉඳහිට මතුවන කළාමැදිරියෙක් හෝ රෑබදුල්ලෙක් ඔවුන් ගේ ලන්තෑරුම් දල්වා අප දෙවැටේ ගමන් කරද්දී පය පැකිලේයයි බියෙන් පොළොවේ උස් මිටි තැන් පෙන්නන්නට මෙන් මඳ ආලෝකයක් සපයයි.

අපේ පුංචි පෙරහැරට මගේ සහෝදර සහෝදැරියන් සමඟ අපේ ළඟම ඥාති සහෝදර සහෝදැරියන් පස් දෙනෙකුද එකතුවෙයි. ඉන් පසු අපි රාත්‍රී  ආහාරයට ඇති කුමක් හෝ දෙයක් බෙදා හදාගෙන කා සෑහීමට පත්ව නිදා ගන්නට යන්නෙමු. නැත්නම් අපි කහට කෝප්පයකින් සෑහීමට පත් වන්නෙමු.

පසුදින උදෑසනින් අවදිවෙන අක්කා ලොකු මැටි වළඳක කිරිබතක් පිසින්නීය​. මගේ ඥාති සහෝදරිය පොල් ගෙඩියක් බිඳ පොල් ගාන්නීය​. ඇයට යහමින් ලුණුමිරිස් ඇතුව පොල් සම්බෝලය හදන්නට මනාදැනුමක් මෙන්ම අත්ගුණයක්ද තිබේ. ඒ අතරේ මල්ලිලා ළිඳෙන් දිය ඇද මුහුණු සෝදාගෙන ගෙට ගොඩවදිති. උදේ හතට කලින් අම්මා සිල් පවාරණයකර ගෙදර එනවිට අපි හීල ගිල දැමීමට සැදී පැහැදී සිටියෙමු.

ඒ ඉස්කෝලේ යන දවසක් නම් අපි ඒ සඳහා සූදානම් වීමු. අවුරුදු ගණනාවක් තිස්සේ මා අම්මාගෙන් බණ අසා ඇත්තෙමි. පෙරදින පන්සලේදී ඇසූ බණ කතා, ඇසූ විදියටම අපට කියා දෙන්නට මතක ශක්තියත් මනා හැකියාවක් අම්මාට තිබිණි. පසුදින රාත්‍රී කෑමෙන් පසු අම්මාගෙන් ධර්මශ්‍රවණය කරන්නට අපි සැදී පැහැදී සිටියෙමු. ඇතැම් දවස්වල මල්ලිලා විසින් එකම බණකතාව දෙතුන් සැරේ කියන්නට අම්මාට ඇවිටිලි කරණු ලබයි. අම්මා විසින් කියන ලද බණකතා සාහිත්‍යය තුළින් අපට ජීවිතය ඉගෙනගන්නට සැලසුවා නේදැයි මට අවබෝධ වූයේ පසු කාලයේදීය. ඒ තරමට​ පන්සිය පණස් ජාතක පොත් වහන්සේ අපේ පවුලේ අත්පොතක් බවට පත්ව තිබුණි.

බෞද්ධ දර්ශනයත්  සමාජ හරපද්ධතිය හා සබැඳුන සංකල්පත්, මගේ ජීවිතය ගොඩනඟන්නට දායකවූයේ යම්සේද, සරල ගැමිපරිසරයත් එයටම ආවේණික හුදකලාබවත්, මට නිදහසේ වැඩෙන ළපටි පැළයක් මෙන් අතුපතර ලියළා මහා වෘක්‍ෂයක්සේ හැදී වැඩෙන්නට තෝතැන්නක් විණැයි සිතමි.  ආදරණීය අම්මා ගෙන් ලද සාගරය පරයන ගැඹුරු ස්නේහය විසින් මා පෝෂණය කර පලදායි සමාජජීවියෙක්‍ සේ ගොඩනඟන්නට අනුපමේය මෙහෙවරක් ඉටුකළ බව මම අදහමි.

ජීවිතය කෙතරම් රළු පරළු කර්කශ වුවත්, “මමයන ජීවියා ගෞරවාන්විත තැනක ස්ථානගත කර තබා ගන්නට,​ දිවිහිමියෙන් ආරක්‍ෂා කර ගන්නට මා පොළඹවනු ලැබුවේ මගේ ඉරණම් සාධකය වූ කුණාටුවට හසුවූ මගේ ළමා විය යයි මම සිතමි. ජීවිතය සුළිසුළඟකට හසුවූ පරඬලා පතක් මෙන් දහසකුත් එකක් හැල-හැප්පුම් අතර තෙරපුණේවී නමුදු, ජීවිතය යනු දිනාගත යුතුවූ දෙයක් මිස කවුරුන් හෝ විසින් පිළිගන්වන්නට යෙදෙන දෙයක් නොවන බව  මගේ ළමා වියේ පටන්ම වටහාගන්නට තරම් කුමක්දෝ හැකියාවක් ලැබී තිබුණි.

කුඩා දැරියකවූ එක්තරා අවධියේදී පවා ජීවිතය යනු මහා ප්‍රපාතයක​ කෙලවර පිහිටා ඇති පටු මාවතක් යයි සිතන්නට මම පුරුදු වීමි. ප්‍රපාතයකට වැටුණ මනුස්සයාට සිහිවන එකම දෙය ඉන් ගොඩ ඒමය​. මොළයේ හැම සෛලයක්ම එකාවන්ව ක්‍රියාකාරි වන්නේ එවැනි අවස්ථාවකය​. ප්‍රඥාව පහලවෙන්නේත් එය ප්‍රායෝගිකව අත්හදා බලන්නට යුහුසුළු වන්නේත් ඒ වාගේ වෙලාවකය​.  ඉතින් මමද දහ අතේ කලපනා කළෙමි. පුංචි ජීවියෙකුගේ මනසට ඔරොත්තු නොදෙන තරමේ උනන්දුවකින් මම ඒ ශක්ති ප්‍රභවය ප්‍රයෝජනයට ගෙන​ විවිධ කෙටි හෝ  දිගු මං පෙත් ඔස්සේ යායුතුයයි සනිටුහන් කර ගතිමි. ඒ නිසාමදෝ, දහස් වරක් ඇද වැටෙන විට දූවිලි පිසදමා නැවත නැඟිටීමට ආත්ම ශක්තියක් අත්පත් කර ගෙන සිටියෙමි. ඒක හරියට උල්පතකින් කාන්දු වෙන්නාක් මෙන් ජීවිතයේ හැම අවධියකදීම මගේ දෛනික පැවතුම් පවත්වාගෙන යන්නට මට ඕනෑ විය​.

කිසියම් අවිනිශ්චිත වුත් අපැහැදිළිවූත් හැඟීම් සමුදායක් එකිනෙක පොර බදමින්  මගේ  සිත තුළ දිය සීරාවක් මෙන්  මතුපිටට කාන්දු වීමට තතනන අයුරු මට දැනෙයි. එය කවුරු හෝ කෙනෙකු සමඟ එනම්  මනෝභාවයන්  තේරුම් ගතහැකි පරිණත, එමෙන්ම මැදිහත්​ සුවිශේෂී පුද්ගලයෙකු සමඟ බෙදා හදා ගැනීමට මට අවශ්‍යය. මම මට සමීප යයි හැඟෙන විවිධ පුද්ගලයන් ගේ නම් හිතට නඟා ගැනීමට උත්සාහ කළෙමි. නාස් පුඩුවල පමණක් හුස්ම/පණ රැඳී ඇති මිනිසා කෙරෙහිවත් විශ්වාසය තබන්න එපාය යන​ බයිබල් වැකිය මගේ මතකයට ගලා අවේය​ ("Put no more trust in man, who has only the breath in his nostrils"(Isaiah 2:22). සබෑව නම් එයමය​.  හැම දෙනාම මට සමීපව සිටියේ ආත්මාර්ථය සඳහාමදැයි හැඟෙන විට මාකෙරෙහි උපන් සිහින් සංවේගයකින් මගේ සිත සලිත විය​.  අම්මා හැරුණ විට  මගේ බර දෙවුරෙන් උසුලා දරා සිටි එකම් ජීවියෙකුවත්  සිටි බවක් මට සිතාගත නොහැකිය​.

බොහෝ දෙනාට මා  දියඹ හරහා තරණකරන්නට පරිහරණය කළ හැකි පාරුවක් පමණක් විය. අත්වැල් නැති ඒදන්ඩ දිගේ මා ගඟ තරණය කරන විට,  ඒදණ්ඩත් අත්වැලත් බිඳුන මොහොතේ, මා ගිළෙන්නට නොදී ඔසවා ගත්තේ ඇයයි. මා ගොඩට ගෙන ඒමට අනන්ත වූත් අප්‍රමාණවූත් අනේකවිධ දුක් කන්දරාවක් ඉවසා පොර බදා මා එගොඩ කළේ ඇය පමණි.

“කියන දේ නාහ හිතුමතේට වැඩ කෙරුව​. දැන් ඉතින් නැඟිටපන් වැටුණ තැන ටැග්ගැහෙන්නෙ නැතුව​!”

ඒ අම්මාගේ හඬය​.  ඒ මිහිපිට දෙපයින් නැඟී සිටින මනුස්ස දුවකගේ හඬක් නොව, දෙව් ලොවෙන් ඇහුණ හඬකැයි මට හැඟින​​.  සැබැවින්ම ඒ අම්මාගේ හඬය​.  අව් වැහි සුළං හමුවේ නොසැළී  සිටින​ ඉන්ද්‍ර​ඛීලයක් මෙන්, දුකේදීත් සැපේදීත් එකසේ ඉවසා නොසෙල්වී සිටින, මගේ ජීවිත නුවර දොරටුව අබියස නැඟී සිටි අම්මා ගේ හඬය​. වැටෙන වැටෙන වාරයක් පාසා මං දෙපයින් නැඟී සිටියේ අම්මාගේ හඬේ ශක්තිය නිසාය​. අද මං නැඟිටින්නට බැරි තරමටම වැටිලාය​. දැන් ඉතින් ගිළුණු  කලලින් නැඟිටුවන්නට​ තුමුල බලති ගිජිඳෙකු නැති තැන, මා පමණක් සඳ සමඟ පිළිසඳරේය​. 

මල්ලිකා එම් බණ්ඩාර​

17. 03. 2014