නිරතුරුව ඇස ගැටෙන පොල්කිච්චියක මිසක
කිමිද ආ හංසයෙකු නොවෙමි මානස විලේ
සවන් දී අසාපල්ලා හොඳින් මා හඬට
අරුත් බර ගීතයක් ගයනු රිසියෙමි තොපට
පිසදමන පිණිස දුක සුසුම කඳුලැලි නෙතින්
පියාඹා සප්ත
සාගරය ගිනි කඳු මතින්
සුබාරංචියක් ගෙන ආමි නුඹලා වෙතට
තිත්තවූ ඇත්ත මී බිඳු නොවී දෙසවණට
දැනුනාද මා වදන් වහ කදුරු සේ හිතට
දිවා කල සිහිනයක හොවා මන ලොල් වඩන
පොවා මිදි යුස මියුරු තොපේ හිත් රවටාන
මුවවිටක් හිනා දේදුනු පැහැය දවටාන
සට කපට වෘකරැල හිඳී කඳවුරුලාන
අසනමුත් ඇහුම්කන් දෙනු නොහී මා හඬට
යටිකුරුව තියා ඇත පවස නිවනා කළස
රකුසු හඬ කන්කලුය හිත් වසඟවන සුළුය
සබඳ යුග නෙත් යොමන් මිදී මායා දැලෙන්
සබඳ යුග නෙත් යොමන් මිදී මායා දැලෙන්
බැටලුවන් සේම වල්මත් වෙච්ච ගොපලුන්ට
නෑසුනා වෙන්ට ඇත අඬ ගසන හඬ රැලට
නෑසුනා වෙන්ට ඇත අඬ ගසන හඬ රැලට
කොටලුවෙකු පිට නැඟී දුගී දන හා සමඟ
මෙසායා ඇවිත් ගිය බව හඟිනු ඇත දිනක
බුමුතුරුණු මත වඩින රජෙකු බැහැදකින්නට
පෙරනිමිති බල බලා මඟ දෙපස රැඳුන තොප
සුබ අස්න නොම හැඳින සිරගතව හිඳින වග
බුමුතුරුණු මත වඩින රජෙකු බැහැදකින්නට
පෙරනිමිති බල බලා මඟ දෙපස රැඳුන තොප
සුබ අස්න නොම හැඳින සිරගතව හිඳින වග
දෙපය රැඳි විලංගුව මොරගසා කියනු ඇත
මල්ලිකා එම් බණ්ඩාර
18.11. 2019