එක
පන්තියේ ළඟම හිඳ
වෙන්වුණත්
අදිසියේ
අදත්
සෙබළියකි නුඹ
සජීවී රණ බිමේ
බෙදාගෙන දුක් සුසුම්
සිනා කෙළි කවටකම්
යොවුන්විය මැද ගෙවුණ
සිනා කෙළි කවටකම්
යොවුන්විය මැද ගෙවුණ
බිතු
සිතුවමක් නොවු
හදින් හද වෙළාගත් මිතුරු දම
හදින් හද වෙළාගත් මිතුරු දම
කම්බි දහඅට පොටක් වටකරපු
කඳවුරේ නුඹ වින්ද
කඳවුරේ නුඹ වින්ද
සන්තාප දුක් කන්ද
මුදා පත් ඉරුව මත
ඉසිඹුවක් ලබනුවස්,
ඉසිඹුවක් ලබනුවස්,
බූස්සේ
කඳු වලල්ලෙන් එහා
ගුවන් බඳ නිදහසේ පියාඹන
ගුවන් බඳ නිදහසේ පියාඹන
කුරුල්ලන්
ගැන ලියු
ළබැඳි
මා මිතුරු සඳ,
ඇස්පනා පිට බිඳුන ලෝකය
කැබෙලි එකිනෙක ගෙන පුරුද්දා
අකම්පිත මහ පොළොව සේ විඳ
අසෙනි වැහි සර
පහර නින්දා
සොඳුරු ෆීනික්ස් කිරිල්ලිය යළි
නැඟිට ගත් අළු දූලි පිසදා
දැනෙයි අභිමානයක් නුඹ වැනි
අයෝමය ගැහැණියක
හින්දා
කාලයේ මිණුම මත
වියපත්ව ඇතත් අප
පණස් වසරකට පෙර
යොවුන්විය මෙනෙහි කර
යොවුන්විය මෙනෙහි කර
උත්තමාචාරයෙන් හිස නමා
මගේ හද පතුළෙන්ම පිදෙන
ළබැඳි සෙනෙහසයි මේ
මගේ හද පතුළෙන්ම පිදෙන
ළබැඳි සෙනෙහසයි මේ
සොඳුරු ෆීනික්ස් කිරිල්ලී!
මල්ලිකා
එම් බණ්ඩාර
7. 11. 2019
No comments:
Post a Comment