Sunday, 27 October 2019

පාන්කිරිත්තීගේ අන්තිම අවස්ථාව​



මේ දවස් වල නොයෙකුත් දේශපාලන මතිමතාන්තර FB එක පුරාම ව්‍යාප්ත වෙනවාඋදේ හිටං රෑ එළිවෙනතුරුත් සමහරු කැන්වසිං කරනවා. දේශපාලනයට හරි ජනාධිපතිවරණෙට හරි කිසිම සම්බන්ධයක් නැති මාතෘකාවක් කතා කළත් දේශපාලන කොමෙන්ට්ස් වැහි වහිනව​. සමහරු ගහට පොත්ත වගේ ප්‍රධාන  දේශපාලන පක්‍ෂ දෙකේ පාට දෙකට බද්ධ වෙලා. හැමෝම හිතන්නෙ මේක තමයි රට බේරා ගන්ට උදාවුණ අන්තිම අවස්ථාව කියල​. අවුරුදු පහකට වරක් අපි හැමදාම ඔය තැටිය වාදනය කළා විවිධ ආලවට්ටං දාලා. පහුගිය  සැරෙත් මොනතරම් නම්  බලාපොරොත්තු තියාගෙන හංසයෝ පියාඹා යන දිහා අපි බලාගෙන හිටියද​?ඒ  හැම කොමෙන්ට් එකකම වෛරය ක්‍රෝධය හාස්‍යය   දේශපාලන මුග්ධ භාවය ඉක්මවා ගිය අවිනිශ්චිත භාවයක්, භීතියක් අරක්ගෙන ඇති බව මට දැනෙනව​. අනුන් ගේ වැරැදිම දකින එහෙත් යථාර්ථය නොදකින​, තමන් ගේ දේ හොඳවුණත් නැතත් එය හොඳයයි දකින​, වැරැද්ද පෙනිපෙනීත් එය  එය නිවැරැදි කර ගන්නවා වෙනුවට නරක දේටම ආවඩන මිනිසුන් එසේ කරන්නේ තමන් හෝ තම දරුපවුල් හෝ රටේ ජාතියේ සුභසිධියට නොව තම පක්‍ෂයේ දේශපාලන වර්ණයේ සහ එම පක්‍ෂ අත්අඩංගුවේ තියාගෙන සිටින නායකකාරකාදීන් ගේ සුභසිද්ධිය, සුඛ විහාරණය සහ පැවත්ම උදෙසා පමණක් වීම මොනතරම් අභාග්‍යයක්‍ ය​. 

දේශපාලන විද්‍යා ගුරුවරියක් විදියට තරුණ ශිෂ්‍ය​ ශිෂ්‍යාවන් සමඟ​, අවුරුදු දහඅටක අත්දැකීම් මෙනෙහි කරන විට​, දේශපාලන විද්‍යා මූල ධර්ම​​ න්‍යයයන් සහ​ ප්‍රායෝගික දේශපාලනය ව්‍යවහාරයේ පවතින දුරස්ථ භාවය තෝරා බේරා ගන්නට හැකිවන​ පරිදි පන්තිකාමරය තුළදී  දරුවන් දැනුවත් කරන්නට​ මට අවශ්‍ය විය​.තුලනාත්මක දේශපාලන විද්‍යාව උගන්වන්ට නම් ගුරුවරයා තුලාවක් වගේ වෙන්න ඕන කියල මං විශ්වාස කළා. මගේ පෞද්ගලික දේශපාලන මතිමතාන්තර වලින් බැහැරව​ ඊළඟ පරම්පරාවටවත් සම්‍යක් දෂ්ටිය පහලවන පිණිස  මේ දෙවැදෑරුම් සං සිද්ධි දිහා බලන්ට මගේ ශිෂ්‍ය​ ශිෂ්‍යාවන්ට උනන්දුව සහ ධෛර්යය ඇතිකරවන්ට මහන්සි ගත්තා. බොහෝ විට මිනිසුන් ඉගෙන ගත් සත්‍යය ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයට අනුගත කරගන්නේ ල්ප  ළැදිකමකින් යයි මට හිතෙනව. ගෝල බාලයෝ දැන් "ලොකු ළමයි" විතරක් නෙවෙයි ඒ අයටත් ළමයි බමයි ඉන්නව දකිනව  FB එකෙන්. ඉතින් මේ මව්වරු දරන දේශපාලන මතිමතාන්තර ගැන මට ප්‍රශ්නයක් නෑ වගේම​ ඒ අයගෙ දැනුම සහ අවබෝධය කොයිතරම් ප්‍රායෝගිකද  කියන එකත් මට ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් කාලයත් පවතින ක්‍රමයත් අතරේ දෝලනය වන මිනිස් ජීවිත වල කුමක් දෝ හිඩැසක්  ඇතිවෙලා වද්දෝ කියලා මට හිතෙනව​.මොකද " හැම මිනිසාම දේශපාලන ජීවියෙක්නෙ!" 

ඉතින් ඔය FB විෂබීජයක් වැටිලද මන්දා මේ සැරේනම් මටත් හිතුණා, පහුගිය අවුරුදු පහේදී අපේක්‍ෂා කළ ශ්‍රී ලංකාවේ කේතුමතී නුවරක් කිරීමේ සිහිනය බිඳවැටුණට පස්සේ දැන්වත් අපිට බැරිද අපි හිතපු විදිය වෙනස් කරලා, ඒ කියන්නෙ මේ අලූත් කණ්ඩායමට එක වරක් දීලා බලන්න​ කියලා. හැත්තෑ එක් අවුරුද්දක්ම පොට වරද්දා ගත්ත අපිට බැරිද තව අවුරුදු පහක් මේ දාං පෙතේ ඉත්තෝ මාරු කරලා බලන්න​? ඒ කියන්නෙ විකල්ප කණ්ඩායමට දීල බලන්න​. එතැන ඉන්නෙ අපි හැමෝම ඉල්ලන, දේශපාලනයේ මුවාවෙන් මහජන දේපල අයථාලෙස පරිහරණය නොකළ පිරිසක්. ඒ අයට මේ රටේ දේශපාලන ඉතිහාසය ගැන හොඳ වැටහීමක්, දැක්මක් තියෙන නිසා මාතෘභූමිය ඇද වැටී ඇති; දීර්ඝකාලීන දේශපාලන, ආර්ථික සහ සමාජයීය ප්‍රපාතයෙන් යළි ගොඩ ගැනීමේ සැබෑ ඕනෑකමක් තියෙනවා. මහජන නියෝජිතයින් යනු කවුරුන්ද​, ඔවුන් ගේ වගකීම සහ වගවීම පිළිබඳව මනා අවබෝධයක් තියෙන බව ඔවුන් පාර්ලිමේන්තුව තුල දශක තුනක් පුරාවට ඔප්පු කරලා තියෙනවා.

අපි හරියට පාන්කිරිත්තෝ වගේ. කන්කරච්චලේ දරන්ට බැරි වෙනතරමට ගිරිය පුප්පාගෙන කෑගහනවා. බයිලා ගහනවා, නටනවා, තමන්ට වැඩක් ඇතත් නැතත් අනික් අයට ඇහෙන්ට, පෙනෙන්ට සංදර්ශන ඉදිරිපත් කරනවා. ඒත් ඉතින් අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ. අපේ රටේ දේශපාලනේ වගේ. අවුරුදු හැත්තෑඑකක්ම කළේ පළුවෙනුත් පදාසයක් ම නැති බෙරයක් බදාගෙන හිටිය එක​.බෙරේ මූණත් පාට වරින් වර වෙනස්කරනවා.  නමුත් හරියට බෙරේ පදම් කරගන්න ක්‍රම වේදය​ මෙලෝ හසරක් දන්න ආචාරියෝනෑ. හැමදාම වුණේ වැරැදි ආචාරියෙකුගෙ කරේ බෙරේ එල්ලලා  අපි බලපොරොත්තු වුණා හොඳ සුරල් පද වැදෙයි කියලා. වරපට බිඳුණ ඇතුළ හිස් බෙරේ, අපිට මතක්කරලා දුන්නා "බල් බල්" සද්දේ  ඇර වෙනත් දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. දැන් ඉතින් අළුත් බෙරයක් වයමු කියන තැනට තරුණ විශාරද ආචාරීන්ට ඒත්තු ගැනිලා තියෙන එක කොච්චර අපූරු දෙයක් ද​?

ඇයි අපි මේ පක්‍ෂ පාටවලට මේ තරම්  ගැති වෙලා ඉන්නෙ? මේ රටට සර්වජන චන්දබලය ලැබුණට පස්සෙ, චන්දදායකයින් විසින් මැතිවරණයකදී මහජන නියෝජිතයින් තෝරා පත් කර ගැනීමේදී (නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අනුව​)​ තම කැමැත්ත ප්‍රකාශ කිරීමේ කියාවලිය හඳුන්වා දී තිබුණ විදියම, තවමත් අපි, විසි එක්වන සියවසේ දෙවන කාර්තුවේදීත් අනුගමනය කරනවා.  එදා මළපොතේ අකුර නොදත් කුඹුරෙන් හේනෙන් එහා දෙයක් නුදුටු, සර්වජන චන්දය අපබ්‍රංශයක් වුණ නූගත් මිනිස්සුන්ට ඇඟිළි අත්සන තියන්න පුරුදු කරනවා වගේ, මැතිවරණයකදීත්, පාට ඉදිරියෙන් කතිරය ගැසීමට පුරුදු කරනු ලැබුවාදැන් බැලුවාම​, පක්‍ෂයට හෝ නියෝජිතයාට අදාල පාට/සංකේතය​ ඉදිරියෙන් කතිරය ගැසීම හැර අපි ඉන් එහාට එක අඩියක්වත් තියා නැහැ. තාමත් අපි උප්පැන්න සහතිකයේ තියෙන නම, ආගම, ජාතිය වගේම අපි අයත් වියයුතු දේශපාලන පක්‍ෂය පවා දෙමව්පිය උරුමයෙන් ආව දේපලක් වගේ "හණ​" ගහගෙන ඉන්නෙ.ඒ එහෙම වෙන්න ඇත්තෙ ආනයනිත බීජය නීරෝගීව වැඩෙන්නට ලංකා පස සූදානම් නෑ කියන එක  විය හැකියි. 

චන්දය හිමි ඇත්තෝ, ඡන්දයෙන් අගතියට නොයා යුතුයි. ඔබ උගත්, බුධිමත්, නිදහස් චන්දදායකයෙක් නම් පරම්පරා ගණනකට ඉස්සර තිබුණ "ප්‍රාථමික​"ලෝකයෙන් එළියට ඇවිත් වර්තමාන ලෝකය දිහා අවදියෙන් බලන්න පුළුවන් වෙන්න ඕන​. පරම්පරා තුනකට එහා ඔබේ පවුල්වල උදවිය හිටිය විදිය ඔබට ගැලපෙනවාද​? ඔබේ දරුවන්ට ගැලපෙනවාද යන්න සිතා බලන්න​. පරම්පරා තුනකට එහා තිබුණ ලෝකයට අද ඔබ​ අයත් නැත​. ඉතින් ඔබේ දරුවාට නැත්නම් ඊළඟ පරම්පරා වලට ඒ ලෝකයේ සුන්බුන් කොහොම ගැලැපෙනවාද​? පාරම්පරික දේ රැක ගතයුතුයයි ඔබ තර්ක කරනු ඇත​. ඒත් ඔබ ජීවත්වන ලෝකයට, ඔබේ දියුණුවට බාධාවන දේ ඔබ රැක ගතයුතුදැයි ඔබගෙන්ම අසන්න.

ඔබ ලත් මනුෂ්‍යාත්ම භාවය නිදහස් නිවහල් චින්තනයකින් හෙබි, මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වෙන්නට මිස හීන දීන වහල් මනසකින් ජීවත් වෙන්නට නොවන බව මතක තබා ගන්න​. ඔබේ මාතෘ භූමිය​, ඔබේ ජීවිතය, ​ ඔබ ජීවත්වන පරිසරය​ තුළ, සවිඥානික සබුද්ධික මානවහිතවාදී මිනිසෙකු ලෙස ජීවත් වෙන්නට ඇවැසි පසුබිමක් තිබේදැයි නිශ්චය කර ගැනීම ඔබ සතු වගකීමකි. අධ්‍යාපනයෙන් හෝ ගුණ දහමින් ශික්‍ෂණය නොවූ වර්තමාන මුග්ධ දේශපාලකයින් ඔබේ ගැලවුම්කාරයින් යයි ​ පිළිගත යුතුද​? ඔවුන් ඔබ මුලා කොට ඇත​. ඔවුන් ඔබ ඉදිරියේ ස්වර්ග රාජ්‍යය නිර්මාණයකර දෙන බවට පහුගිය දශක හතක්ම දිවුරා පොරොන්දු දී ඔබව මුලා කොට ඇත​.

ඒ ඔවුන් ගේ දරු පවුල් වල ශ්‍රී විභූතිය සඳහාය​. යටත් විජිත ස්වාමීන්ගෙන් ලත් බලය යොදවා දුර්වල මිනිසුන් ගැත්තන් ලෙස තියා ගැනීම සඳහාය​. ප්‍රධාන පක්‍ෂ දෙක ඥාතීන්, මිතුරන් සහ එකම පන්තියට අයත් ප්‍රභූන් ගෙන් සමන්විතය​. අවුරුදු පහකට වරක් ඒ පන්ති දෙකෙන් එකක් බලයට පත් කිරීමට කතිරය ගසන බහුජන චන්දදායකයින් රටේ සාමාන්‍ය මිනිසුන් ය​. ඔවුන් දෙපසට බෙදී ඇනකොටා ගන්නේ තමන් සඳහා නොව තමන් කැති පාට දෙකට අයත් ස්වාමීන්ට ඔටුණු පැළඳවීම සඳහාය​. මෞලි මංගල්‍යයෙන් පසු ස්වාමීන් සිහසුන හොබවන අතර සාමාන්‍ය ගැත්තන්ට නිතර රථ පෙළපාලි, සාද, සංදර්ශන සහ  උත්තමයන් සඟරජ්වරුන් බැහැදැකීම, පිරිත් නූල් ගැට ගැසීම, ආශිර්වාද කළ ජලය පානය කිරීම සිට ආගම ඇදහීම පවා විවිධ චැනල් ඔස්සේ විකාශනය කර නරඹන්නට සලස්වනු ලබයි.

ටිකක් හිතා බලන්න. ඔබ අද සිටින්නේ දේශපාලකයින් විසින් දහ අතේ දිවුරා පොරොන්දුවූ ස්වර්ගයේද? හැබහින්ම, ඔබ අද පයගසා සිටින්නේ, පරම්පරා ගණනකට ගෙවා නිමකළ නොහැකි ණය කන්දරාවක උරුමක්කරයින්ව, ජීවත්වීම සඳහා දරන නිමක් නැති අරගලයක නිරතවන කොටස් කරුවන්ව නොවේද​​? දේශපාලකයින් විසින් දශක හතක් තිස්සේ දූෂණය කළ, අවභාවිතා කළ​, අපහරණය කළ අපේ සුන්දර මාතෘ භූමිය හිතූ මනාපයට කැබෙලි කොට නොරටුන්ට විකුණා අප යාචකයින් ලෙස ලෝකය හමුවේ අවමානයටත්, ලංකා දෙරණ මත අසරණ භාවයටත් පත් කර ඇත​. 

රැකියා නිර්මාණය කිරීමේ හැකියාවක් පාලකයින්ට  නැත​. උන් මැටි මෝල්ලුය​. සංවර්ධන ක්‍රියා වලියට උගතුන් දායක කරගන්නේ කොහොමද කියා හිතාගන්නවත් උන් අපෝසත්ය.​උපාධිධාරීන් තම සුදුසුකම් වලට සරිලන රැකියා ඉල්ලා “protest”කළ යුතුව ඇත​. වැටුප වැඩි කරගන්ට , වාහන බලපත්‍රයක් ගන්ට​, ළමයා ඉස්කෝලේ දාගන්ට​, මහ පොළ දීමනා වැඩි කර ගන්ට ආදී වශයෙන් ඔය හැම දේටම මහජනතාව "protest"කරනවා. ඒත් මහජන නියෝජිතයෝ වරප්‍රසාද ලද්දෝය​. ධන නිධාන වලට අරක් ගත් පිසාචයන්, කුම් භාණ්ඩයින්, මළ පෙරේතයන් ය​. ඒ ඇත්තෝ රජයෙන් නඩත්තු වන ​දන්සැලෙන් කාබී, කාඩි කළගෙඩි වගේ බඩ තඩි ඔඩොක්කුවේ තියාගෙන කැරැකෙන පුටුවේ දපාගෙන ඉන්නට ආශිර්වාද ලද්දෝය​.  ඒ අයගෙ ඕනෑ එපාකම් කැබිනට් එකෙන්ම සම්පූර්ණ කරන නිසා අපේ කැබිනට් හැමදාම හිස් ය​. පොකට් හිල් වෙලාය​. දරුවෝ සාගින්දරේය​. අඹුවෝ මැදපෙරදිගට විකිණිලාය. පුරුෂයෝ තිතට මත් වෙලාය​. තරුණ තරුණියෝ නන්නත්තාර වෙලාය​. මේ ව්‍යසනයෙන් දේශය මුදවා ගන්නට පහුහියවර නටපු තොයිලයෙන් පස්සේ පෙරේත තටුවට වහ වැටුණේ සිගාල ගෝත්‍රිකයින් ය​.  

යටත් විජිත ආධිපත්‍යයෙන් නිදහස ලැබුවදා ඉඳන්ම​ උගතුන් පාලනය වෙන්නේ දූෂණ වංචා, රාජ්‍ය දේපල අවභාවිතා වලට කප්පිත්තන් වූ නූගත් තක්කඩි දේශපාලකයින් පිරිසක් යටතේය. චන්දදායකයිනි, ඔබේ රීරි මාංශත් රටේ ජීවනාලියත් උන් විසින් සූරා මිරිකා උරා බී ඔබ හිඟමනට ඇද දමා ඇත​. එල්ලෙන්ට වැලක් නැතිව මහජන නියෝජන ආයතන වලට රිංගා ගත් උන්, රජවරුන් සිටුවරුන් වෙලාය​. ඔබේ කතිරයේ අනුහසින් මාළිගා ප්‍රාසාදවල, කෙත්වතු දේපලවල හිමිකරුවන් වෙලාය​. දෙස් විදෙස් බැංකු ගිණුම් වල හිමිකරුවන් වෙලාය​. බතින් බුලතින් සශ්‍රීක කළ හැකිව තිබූ භුමිය අද මතින්, සල්ලාල කමින් බේබදුකම ඇතුළු සියළු අවක්‍රියාවන් ගෙන් ස්වයම්පෝෂණය වෙලාය​. ඔබේ දරු මුණුබුරන්, ඔබ විසින්ම තෝරා පත්කර යැවූ නියෝජිතයින් විසින් ඇටවූ මර උගුල්වල සිරගත​ වෙලාය​.  මතක තබාගන්න, යම් දවසක ඒ දරුමුණුබුරන් උන්ට කළ මේ  වින්නැහිය ගැන​ හෙන ඉල්ලන්නේ නුඹලාට එරෙහිවය​​.

ඇත්තටම මේ ජාතික ව්‍යසනයෙන්‍ රට ගොඩදාගන්න මේක තමයි අන්තිම අවස්ථාව කියලා මටත් හිතෙනවා. මහජන දේපල අයථා ලෙස පරිහරණය කිරීමෙන් දේශපාලකයින් සේම පරිපාලන ක්‍ෂේත්‍රයේ, පාලනතන්ත්‍රයේ හැම අස්සක් මුල්ලක්ම දූෂිත මළපෙරේතයින් අරක් ගෙනය​. ඉතින්වත් හිතාපල්ලා! ඔය කඩමලු වැරැහැලි දේශපාලන පක්‍ෂ දෙකෙන් එකක්වත් නුඹ​ලා ගැන කරදර වෙන්නේ නැත​. උන් දෙගොල්ල ඥාතීන්ය​, මිතුරන්ය​. සහෘදයන්ය​. නුඹලා නිකම්ම නිකං පාන්කඩය​. උන්ගේ දෙපා පිස දමන පාපිස්නයන් ය. උන්ගේ හොද්ද රස කරගන්නට දැමූ රම්පේ කරපිංචා රොඩු බොඩුය​. මැතිවරණ කාලෙට හිනාවෙන ඇත්තන් ගේ දතකට මැතිවරණ​යෙන් පස්සේ පූට්ටු වෙනවාමය​.

ඒ නිසා කසිප්පු කාලට, ඉඳුල් බත් පිඩට වහල්ලු නොවී ; නුඹලාගේ කිරට අඬන​, බත් ඉල්ලන​දරුවන්ට​සුදුසු අධ්‍යාපනයක් දෙන්ට, උගත් දරුවන්ට ජීවත් වෙන්නට සුදුසු රටක්, හෙට දවසක් වෙනුවෙන් එක මොහොතක් සිහිබුද්ධියෙන් යුතුව හිතා  නැවත නොතැවෙන්ට තීරණයක් ගනිල්ලා! මේක තමයි අන්තිම අවස්ථාව කියලා අන්තිම වතාවටත් හිතාපල්ලා!එච්චරයි!


මල්ලිකා එම් බණ්ඩාර​
 27. 10. 2019

No comments:

Post a Comment