රිදී තැටියක් සදිසි දුරුතු පුර හඳ පළුව
හිඳී යන්තම් එබී " මනුකව් " අහස් ගැබ
එලා ඇතිරිලි සිනිඳු රන්හුයෙන් වියන ලද
“වයිටාකරෙ” කඳු පන්ති සයනයේ
විඩාපත් හිරු මඬළ සැතපිලා
වළා විරහිත නීල අහස් බඳ පුරහාම
තාරකා මල් ඉහුණ වියන් බැඳ මනරාම
පේවිලා සැඳෑ කළුවර බලා හිඳිනවා
හරිත වන වදුළු මත අඳින්නට සිතුවම්
පමාවූ නිසාදෝ කඩිනමින් පියාඹන
කුරුළු රෑනක් ඈත අහස් බඳ සිසාරා
සයුරු ඉම "ටැමකි හිස" කෙලවරේ
වන වදුළු පරාදීසය කරා ඇදෙනවා
නිවා ගත සිත වෙහෙස වන ගහනයට වැදී
උන් ගෙ “ෆානව්” සමඟ හිඳින්නට කැදැල්ලේ
බෙදා සනහස පහස සැඳෑ ගී සඳැල්ලේ
ටැමකි කලපුව උඩින් පියාඹති නිදැල්ලේ
මල්ලිකා එම් බණ්ඩාර
18. 01. 2022