අකුණක් පිපුරුණා දෙදරවා සිව්කොණ
නිද්‍රාව මැද දනෝ විමසති සිහින පලාපල
කුසපොතු පිටට ඇළුණ
මිනිසුන්ගෙ කර මතින් වැඩම කළ
යසිසුරු උල්පතෙන් නහා සැනැහී ගත්
සුපිරි පන්තියෙ දිග පළල සුලමුල
ඇස්පනා පිට දකින විදුලි කෙටුමක් වෙලා
නීලාංකාර විය දුටු දනන් නෙතු සඟල.
ඔසු කැඳත් හිඳෙන තුරු
මොරදුන් හඬට නෑසුන් කන්ව
මරණයේ සෙවැණැල්ල
එබිකම් කරනතුරු හිඳ
අවනඩුව කියන්නට
මහ මඟට පිළිපන්න
මාපියන් අඳෝනා නැඟෙද්දී අහසට
මැඳුරු දොර හැර බලව් චෞරයිනි;
සාපයේ කළු වළා ඇදෙන හැටි
පාපයේ බර දරණ තොප දෙසට
මල්ලිකා එම් බණ්ඩාර
4.05. 2022