යොදා බලමුළු විදා අණසක
පැහැර ගන්නට නොහැකිවූ බව
දැනී පිරිසිඳ මහද විජිතය
වෙලා විරසක නිගා කළෙහිය!
වගාඩම්බර දොඩා නුඹ මට
නුඹට පෙම්කළ නුඹත් පෙම්කළ
මගේ හසරැල් සුණුවිසුණු කළ
ළසෝ ගිනි දැල් ලවා සිත් මල
අසුරු සැණෙකින් මළානික කළ
ඉරත් නොදිළුන සඳත් නොනැඟුණ
අඳුරු මේකුළු අහස පාවුණ
ඉඳුරු පුර සරසවි බිමේදී
පෙම් පුරාවත බිඳී ඉහිරුණ
මතක දැහැනේ තාම දැවටෙන
සොඳුරු හිල්ඩා පහය අබියස
මගේ දෙනුවන් සයුරු තටයේ
නිසල දිය කඳ දෙබෑ කළ දින
හඬා වැළපී නුඹෙන් සමුගෙන
දශක ගණනක් ගෙවී ගිය තැන
නුඹත් සමුගත් වග ඇසූවෙමි
නුදුරු දවසක යළි නොඑන්නම
ළහිරු දුටු තැන සැණින් වියැකෙන
පිනි පොදක්සේ තණ'ග දිළියෙන
හමුව වෙන්වුණ ලෙසින් දිවි මඟ
නික්ම යන්නට කිම්ද කාරණ?
මල්ලිකා එම් බණ්ඩාර
30.11. 2020