Friday, 9 August 2024

රික්තය​



සමාජශීලී වීමට කැමැත්තක් ඇති මිනිසුන්ට ඒ සඳහා සුදුසු පුද්ගලයින් මුණනොගැහුණාම දැනෙන මානසික රික්තය ඔවුන් අසරණ භාවයකට පත්කරන්නට තරම්  දරුණුය​. මාද එවන අත්දැකීම් සමුදායක් සමඟ ඇමිණී තිබුණි.  කළ්‍යාණ මිත්‍ර ඇසුර අවශ්‍ය වෙන්නේ එවන් විටය​. ඇතම් අහඹු සිදුවීම් පසුපස, තීරණාත්මක අවස්ථා වලට මුහුණ දෙන්නටත්, ඒ හා සබැඳි අනපේක්‍ෂිත නිගමන වලට එළඹෙන්නටත් සිදුවෙන අතර​ මිනිහෙකුගේ ජීවිතය උඩු යටිකුරු කරන සුබවාදී හෝ අසුබවාදී ගමනාන්තයකට ඒ තැනත්තා යොමුවෙන්නටත් ඇති සම්භාවිතාව ඉතා ඉහලයයි මම හිතනව​. ​

2005 අවුරුද්ද, එවැනි හිත කීතු කීතු වලට ඉරලා දැමුණු අවස්ථාවක් සනිටුහන් කළේ. මද අසනීප ගතියකින් සිටි අම්මා බලන්න ඒ අවුරුද්දෙ ජනවාරි මාසේ මම තනියම ගමරට ගිහින් එන්න කියලා පිටත්වුණා. අම්මාගේ අසනීප තත්වය දිනෙන් දින අසතුටුදායක බව පෙනෙන්නට තිබුණි. සති තුනක් වනවිට අම්මා දුර්වල වෙන බව පැහැදිළිවම දකිනට ලැබුණා. තාත්තා ගේ මරණයෙන් අවුරුදු විස්සකට පස්සේ පෙබරවාරි 7 දා ඇගේ අවසන් සුසුම්පොද හිස් වාතලයට මුසුවී අනන්තයට ඇදී යනවා මගේ දෑස් පනා පිටම අත්දකින්නට සිදුවුණා.

ගෙදරට ආව ඇතැම් නෑදෑයින් පවා ඒ වන විට​ මගේ මතකයෙන් ගිළිහී ගොස් තිබුණා. පවුලේ ළඟම නෑදෑයින් හැර අන් බොහෝදෙනා මට ආගන්තුකයින් වගේ පෙනුනෙ. ඒ අයට මං ගැන මතකයක් තිබුණේ නැති තරම්.

"මේ පවුලේ තව පොඩි ගෑනු ළමයෙක් හිටිය නේද​? ඒ ඔයාගෙ නංගි කෙනෙක් නේද?"

සමහරු මගේ මල්ලීගෙන් අහනව​".

 "ඒ පොඩි ගෑණු ළමයා තමයි මේ. එයා මගෙ පොඩි අක්කා. මල්ලී අමුත්තාට කියනව"​.

මල්ලී, නමක් සඳහන් කර එම පුද්ගලයා හඳුනා ගැනීමට පහසු කරවන හෝඩුවාවන් මට කියනව​.

"බොහොම ස්තුතියි, ආවට​". මම දෑත් එකතුකර කෘතඥා පූර්වකව ආචාර කරනව".

“ඉස්තුතියි කියන්නේ? අපි නෑවිත් කොහොමද​? අපිත් මේ පවුලේ නෑදෑයොනෙ" ඔහුගේ හඬ තරමක නොමනාපයක් තැවරිලා වගේ.

“ස්තුතියි කියන්න එපා. මේ මිනිස්සු කැමති නෑ එහෙම කියනවට”​.

මල්ලී කණට කරලා කියනවා. මම නිශ්සබ්ද වෙනව​.

තව කට්ටියක් එනව​. ඇවිත් මා දිහා ඇස් පිල්ලන් නොගහා බලාගෙන ඉන්නවා. මම දෑත් එක්කර ආචාර කරනව ගොළුවෙක් වගේ.

දවස් තුනක් තිස්සේ ඔය විදියයි. තුන්වෙනි දවසේ අම්මගේ කටයුතු අවසන් වෙනව​. රෑ දවල් ගෙදර සෙනඟ පිරිලා.

"කවුද එයා?"… "එයා කවද්ද ආවෙ?'.

කාන්තා පක්‍ෂය කම්මුල් වලට අත ගහගෙන “sympathetically” මං දිහා බලාගෙන ඉන්නෙ. අහම්බෙන් අමුතු සත්වයෙක් දැක්කා වගේ. දහසකුත් එකක් ප්‍රශ්න​.

එකතැන හිඳ​ යන එන හැම දෙනාගේම ඇස් වලට හසුවී රැඳී සිටීමෙන් දැනෙන කෙඩෙත්තුව දරා ගත නොහැකිතරම්.

"ඔයා කාමරේට වෙලා ඉන්න​". ඒ වන විට මගේ ඥාති සහෝදැරියක් මාව​ බේරා ගන්නට ඉදිරිපත් වෙනව​. මම කාමරේ ඇඳට ශරීර කූඩුවේ බර දරාගන්නට හැර ටිකක් හාන්සි වෙනව​.

සාලය දෙසින් අක්කාගෙන් මා ගැන විමසන ගැහැණු පිරිමින් ගේ ප්‍රශ්න මට ඇහෙනව​.

"නංගිත් ඇවිල්ලලු නේද?" "කෝ එයා? අපි දැකලවත් නෑනෙ කාලෙකින්. එන්න කියන්නකෝ” සමහරු කාමරේටත් කර පොවල බලනව. 

නානාප්‍රකාර ගැහැණු පිරිමින් දවස් හතක් ගෙදර පිරිලා. එහා මෙහා වෙන කෑම බීම වර්ග. තේ කෝපි, සිසිල් බීම​, වීදුරු කෝප්ප ගැටෙන හඬ මා තුළ ඇතිකළේ හුදකලා බවකි. තනිවූ බවකි. මේ මිනිසුන් ගේ ප්‍රතිචාර, මා ඔවුන් ගෙන් එකෙක් නොවේය යන සිතුවිල්ල මා තුළ ජනිත කරවන්නට  දරන උත්සාහයක් වැනියයි මට සිතේ.

හිතාමතා මට කිසිම දෙයක් කළ නොහැකිවිය​.

 "ඒ කාලෙ වගේ නෙවෙයි දැන්. ඔයාට මේවා පුරුදු නෑ”. “ඒක එහෙම නෙවෙයි කරන්නෙ මෙහෙමයි ". "දැන් ඉස්සර වාගෙ නෙවෙයි".

"ඇත්ත නේන්නං. මළ ගෙදර මඟුල් ගෙදරක් වගේ දැන්". මම නිශ්‍ශබ්දව ඉන්ට තීරණය කර ගත්තා.

අවුරුදු විසි පහක් ජීවත්වුණ ගම​.  මේ වගේ අවස්ථාවක මගෙ හිතට හයියක් වෙන්ට එක මිනිස් පුළුටක් නැති හැටි. මම මගේ දරු පවුලෙන් මඟෑරිලා. පවුලේ කියලා හිතාගෙන හිටපු අය ආගන්තුකයෝ වෙලා. කාගෙ හරි උර හිසකට බර වෙලා එක කඳුළක් එලලා හිත සැහැල්ලු කර ගන්ට නැති හැටි! යාළුවෙක්, හිතවතෙක් කියලා කෙනෙක් නැති හැටි! මට කැම්පස් හිටිය සමකාලීනයින් මතක් වුණා. අවුරුදු දහ අටක් රැකියාව කළ සේවා ස්ථාන හතරක දෙතුන් සීයකට වැඩි කාලයක්, එකට වැඩ කරපු අය මතක් වුණා. ඒ කවුරුවත් ළඟ පාතක නෑ.

උපදේශකයෝ කෝටියයි. හය හතර නොදත් එකම දැරිවිය මා පමණි. අවමඟුල් කටයුතු නිමවෙන තුරු මම මහා දැවන්ත පිරිසක් මැඳ තනිවූ ඇබින්දන් සිඟිත්තියක බවට පත් වෙලා. නිදහසේ හුස්ම ගත් සජීවි ගෙදර, අම්මාගෙන් තොර හුදකලවු ගෙදර, මට පාලු මූකලානක් වැනි තැනක් විය​. කෑගසා හඬන්නට ඇවැසි තැන මම ගොළු  වීමි. මගේ හිතට ආ යමක් කිවයුතු තැන මම ගොළු වීමි. කණට වැටෙන කුමක් හෝ නෑසෙන සේ මම බිහිරි වීමි. මුළු ගතම හිරිවැටී එක තැන වැතිර සිටියා මිසක, මගේ හිත සැනසෙන යමක් කිව හැකි කෙනෙක් පෙනෙන තෙක් මානයක වත් නොරැඳිනි. 

දශක දෙකහමාරක් ගමෙන් පිට ජීවත් වූ බැවින් මා ගැන ගමේ මිනිසුන් දැන සිටියේ මඳ වශයෙනි. දැන සිටියවුන් පවා මා සහ ඔවුන් අතර පවුරක් බැඳ ගෙන තිබිණි. පවුර විනිවිද දකින්නට ඔවුන් අසමත් වූවා සේම, පවුර බිඳින්නට අවකාශයක් තැබුවේද නැත​. තේරුම් ගත නොහැකි පරතරයක් ඔවුන් විසින් නිර්මාණය කරගෙන තිබිණි. ඔවුන් සහ මා අතර​ පොළොවේ ඉරක් ඇඳ එය අතික්‍රමණය කිරීමට නොදී ඔවුන් විසින් මුර කාවල් දමා තිබිණ. මගේ දුක බෙදා හදා ගන්නට කෙනෙක් මා අසල නොවිණි. මා කියන යමක් තේරුම් ගත හැකි කිසිවෙකුද නොවිණි. ඒ දුක් කන්දරාව පොදි බැඳ ගෙන මම ආපසු ආවෙමි. පැය පහළොවක පමණ ගුවන් ගමන මම මගේ හිත තුළ මගේ ආදරණීය අම්මා පිළිබඳ මතක සුවඳ​ තුරුළු කරගෙන ආපසු මගේ කැදැල්ලට පියාසර කළෙමි.

 එම කාලය තුළ සිදුවූ බොහෝ අනපේක්‍ෂිත සිදුවීම් නිසා මා බෙහෙවින්  මනස්තාපයටත් සංවේගයටත් පත්වීමි. මේ තත්වය කිසිවෙක්‍ සමඟ බෙදා හදා ගන්නට මට අවශ්‍ය වුවත් ඒ සඳහා සුදුසු කෙනෙක් මට හමුවුණේම නැති තරම්. ඒක හරියට මහ මූකලානක් හරහා තනිවම ගමනාන්තය නිශ්චිතව නොදැන ගමන් ඇරැඑඹූ මඟියෙකු ගේ චිත්ත චෛතසිකයන්ට බෙහෙවින් සමාන අත්දැකීමක් විය​.  

ගුවන් යානය ගුවන් ගත වන විට අඳුරේ මැකීයන මව් බිමේ විදුළි එළි කලාමැදිරියන් සේ නොපෙනී යනතුරු බලා සිට හඬා වැටුණෙමි. යළි ඒ භූමියට පය නොතියන්නට මගේ හිත වාරණ පනවන්නට යෙදිණි.

මල්ලිකා එම් බණ්ඩාර​

9. 08. 2024

No comments:

Post a Comment