Tuesday, 6 September 2016

පඬුර



පහේ පන්තියෙ විභාගය ලින්නට කලින්
බෝධියේ ගැට ගැසූ පඬුරු අම්මගෙ අතින්
පැළ කළා නම් ළපළු කරටි මල් පල දරා
මහ සල්ලි ගහක් මේ වන විටත් හැදෙනු ඇති

දවස් කුලියට ගෙවල් වලට ගොස් දර පළා
වේල් දෙක තුනක වියදමට තිබු සොච්චමෙන් ​
අල්ලසක් අරන් මේ මහ පොළොව නූහුලන
කපුරාළ  කරපු යාතිකා නෑහුම්කන්ව​
​විෂ්ණු දෙවියනි හරිද හිටපු එක සන්සුන්ව​

දෙයියන්ට පුදපු පලතුරු දිහා බලාගෙන​
නංගිලා තුන් දෙනා හඬා වැටුණා හිතින්
නෙත කඳුළු පුරාගෙන​ කුස ගින්න දරාගෙන
විභාගෙට ලියද්දී මගෙ හිතේ රැඳුනේම ​
නංගිලෑ ඇඬුම් බර​ මුහුණු තුන විතරමය​​.

මල් පුදා පහන් දැල්ලුවා හැම  උදයේම​  
යාතිකා තෙල ගැල්ලුවා ඉස් මුදුනේම​
සෙත් කවියෙ ගණ නොබිඳ ගැයූ මුත් නිතරෝම​
විෂ්ණු දෙවියනේ මා කඩ ඉමෙන් දුර තාම​.

සමවතට සම වැදී යුග නෙතම වසාගෙන​​
නොතේරෙයි අබිදහ​ම සෙල් පිළිම​​ වදාරන
බෝමුල දොවති පෙරවති මුදු කසාවත​
නායකයෝ සිඹිති බොධිය බදාගෙන​
දෙස බස රැස​ නීල​ සළුවක් සේ පෙරවා
දුප්පත් හීන කුල​, විස දළ ඇන මොළවා
පුහුදුන් මිනිස් සිත​  බිඳ​ වල්මත් කරවා
නුවණැස දල කඩතුරාවෙන්​ අඳ කරවා
යස ඉසුරෙන් වැඩෙති උන් අටු කොටු පුරවා

දිය බිඳක් බත් මිටක් ඉල්ලලා මඟ බසින​
දුටු සැණින් ගිනි බිඳිති අපේ පන්තියෙ උන්ට​
​ඉහ මොළ ඇටමිඳුළු සම් මස් දියව න තුරා 
වැඩ කරන මිනිසුන්ගෙ දාදියේ පිහිනනා
යෙහෙන් වැජඹෙනා පාලක සපුන් ගෙන් යැපෙන
අඳ බාල කුලපුතුන් උන්ගෙ කම්සැප පිණිස​
ජප නූල් ගැට ගසති ලෙයින් තෙත දෑත් වල

පාසලට ආයුබෝවන් කියන්නට වීම
දුකය. දුකටද මුලය බව හැඟෙයි මට තාම
අලි මුඩුක්කුව කොනක​ අනුන් හට අතපෑම​
ඇදහිල්ල  බින්දාය​ පුංවි සන්දියෙදීම​
දුකින් මිදෙනා  එකම මඟ මෙයයි හිතාගෙන​
නුවර වැව ළඟ ඉඳන් ඇම දමා මම මාළුබානවා
පහේ පන්තියෙ විභාගය ලින්නට කලින්
බෝධියේ ගැට ගැසූ පඬුර අම්මගෙ අතින්
විශ්ණු දෙවියන්  ළඟද​?”
තවම ඉඳහිට​ මගේ හිත මගෙන් අහනවා


මල්ලිකා බණ් ඩාර​
31.08.2016