සැහැල්ලුව ගෙන අතට
පිළිපන් නමුත් වන්දනා ගමනට
දරන්නට බැරි තරම්
ඔලොගුවක් වෙනතුරා සැහැල්ලුව,
මෙවන් ලට-පට මෙවලම්
රැස් කළේ ඇයිද මෙතරම්?
කැප අකැප දුක සැප
නෙක කුණු රොඩු කසළ
හැම දූලි පොදටම
ලියවෙලා ලෙන් ගැබ
අත හරින්නට නොහැකි අයුරින්
ඇත මතක සමරු සටහන්
විටෙක හිත නළවන
තව විටෙක හිත පාරන දවන
පැසවන දුගඳ ඉහිරෙන
වන කැළල් මෙන් දැනෙන
සැහැල්ලුවෙ බර ඉතුරු කර
අනුන් වෙහෙසනු කිමැයි හැඟුනෙන්
එද එකහිත් දරාගෙන
ගමින් ගම, තොටින් තොට
ඇවිද්දෙමි අතනෑර ඔලොගුව
දිවා රෑ දුර බැහැර
ගෙවා මඟ රැඳුනා මිසක
ගෙවා මඟ රැඳුනා මිසක
ආශිර්වාද ලද්දවුන් ගේ දේශය!
කල් යල් එළඹ ඇත
නුවර දොරගුළු හැර ඇත
පාරු පාළමෙන් එතෙරව
නික්ම යායුතු නමුත්
තවත් නම් කීවරක්
ඇවිත් යළි ආයුතුද...?
මල්ලිකා එම් බණ්ඩාර
02. 08. 2018