බෝපත් අමදින බෝමළුවේ
හිරු නැඟ මියැදෙන දවසක කෙලවර
පින් පල ගැනමයි හිත වෙළුවේ
කෙළෙස් මලින් පිරි සිත නිවනා හැටි
හාංකාවිසියක් නැත දුටුවේ
වැලිකැට ගානට පිං පිරෙනා හැටි
පමණයි යතිවරු බණ දෙසුවේ
රා ගිනි මොළවන රත්වන මත්වන
සිතිවිලි සින්දන මඟ හමුවේ
කළ නොමකළයුතු දේ ගැන හරිහැටි
දැනුවත් වීමක් නැත ලැබුවේ
මෝහෙන් අන්ධව පව්මළ රැස්කර
මියැදෙන ඉපදෙන දිවි කතරේ
කෙළෙසුන් පොදිබැඳ ගමනේ ඇවිදින
මුවරැලසේ ගොරතර සසරේ
ඇදහිළි යාදිනි පුදපෙත් වෙනුවෙන්
දෙව් මිනිසත් බවමය පැතුවේ
පව්මුල් උදුරන මංපෙත දැනගෙන
යන ගමනයි අමතක කෙරුවේ
මල්ලිකා එම් බණ්ඩාර
4. 09. 2013