හෝඩි පොතේ හැම අකුරක් අරගෙන
මාල පොටක්සේ අමුණන්නයි
පාට එකින් එක හූවටයකලා
පුංචි දූගෙ කර වට ලන්නයි
අව් කූටකයේ හේනට කුඹුරට
මුතු දහදිය වැසි වස්සන්නයි
පුරන් වෙලා ගිය කණටිය කෙටුවේ
යළ මහ දෙක අස්සද්දන්නයි
අකුරු ඉනිමඟේ හිණි පෙත්තට නැඟ
වියත් සබා මැද හිඳුවන්නයි
මට නොඇරුණ ගුරු ගෙදර රුවන් දොර
නුඹට කෙදින හෝ ඇර දෙන්නයි
පින්පල මදිවී නුවණැස අඳවිණි
ඇස ගැටෙනා දුර සිප්සත බොඳවිණි
පහන් කන්ද පාමුල වැතිරී ගෙන
පාරමිතා පූරණය පිරූවේ;
මා නුදුටුව ලොව නුඹට දකින්නයි
මිනිසත්කම යුග නෙත පුරවන්නයි
විසිතුරු අකුරෙන් නුඹ සරසන්නයි
අකුර නුඹට ගම් බිම් කර දෙන්නයි
මල්ලිකා එම් බණ්ඩාර
06.06. 2018