Thursday, 22 November 2018

අද නොවන හෙටක්!




ඉල්මහේ මල් පීදුනා මිස
සුවඳ නෑ හැමුවේ
දැල්වුණේ ගිනි දැල් විනා
පිනි පොද​ නොවේ හැළුණේ

නිල් දියෙන් පිරි ගං තලා
පරමල් හැලී හිඳුනේ
ළතණ පත් මත ඉහිරිලා
පිනි කැට නොවේ ඉහුනේ

යෞවනේ හඬ මිලින වී
කැනැහිල්  නදයි ඇහුනේ
වල් වැදී ගිය කෙතක කෙදිනද​ ​
රන් කරල් පැසුනේ

අද වගේ නොවනා හෙටක් ගැන​
පැතුම අත නාරින්න මා පුත​
නැවුම් හිරු රැස් වතල මිහිමත​
හෙට දිනේ නව මල් පිපෙනු ඇත​

මල්ලිකා එම් බණ්ඩාර​
22. 11. 2018


අළු කොබෙයියෝ

අපි මේ ගෙදර පදිංචිවෙලා අදට අවුරුදු දාහතරක්. අළුතෙන් ගෙදරක පදිංචියට ඇවිත්බඩුමුට්ටු ටික අඩුක් කරගන්න එක ලේසිපාසු දෙයක් නෙවෙයි. ඕනෑම සාමාන්‍ය ගැහැණියක් ගෙදරට ගොඩවුණ ගමන් කුස්සිය පැත්තට කරපොවලා බලන එක අසාමාන්‍ය හැසිරීමක් නෙවෙයි. ඉතින් මමත් මුලින්ම ගියේ කුස්සියට​. මොන වෘත්තියක නියැලුනත්මොනතරම් දැන-උගත්කම් තිබුණත්උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සමාන අයිතිවාසිකම් භුක්තිවිඳීමේ විධිවිධාන සලස්වලා තිබුණත්. මොන පණතින් මානව හිමිකම් තහවුරු කරලා තිබුණත්අපි මුළුතැන් ගෙට අධිගෘහිත ජීවින් කොටසක්. සාමාන්‍යයෙන් අපිට ඕඩර්ස් එන්නෙම ඉහලින්. අපි ඒවට “respond” කරන්ට ඕනමයි නමුත් “react” කරන්න ඔට්ටුනෑ. අපි ගැහැණු! ඉල ඇටයක් “චරස්” ගාලා කඩලා අරන් මවපු ඈයෝ. දෙවෙනි පෙළ මනුෂ්‍යයෝ. දෙවෙනි පුර වැසියො...

කොහොම හරි මමත් මුලින්ම ගියේ සුපුරුදු තැනට​. හැබැයි අපරාදෙ කියන්ට බෑ මට අත් උදව්කාරයන් ගේ සපෝට් එක තියෙනව​​. ඒකත් මොනතරම් භාග්‍යයක්ද​සියළුම නවීන අංගෝපාංගයන් ගෙන් සමන්විත “kitchen & dinning area” එක අපූරුයි! දෙපැත්තකින් අවට පරිසරයට විවෘත​ විශාල වීදුරු ජනේල වලින් යුක්තයි. ජනේල තුළින් පෙනෙන​ අවට පරිසරය ; දැවැන්ත  ගස් වලට අමතරව “native” ශාක වර්ග වලින් වටවෙලා. කැළෑ මල් වැල් එතිලා. ඒක ලියමඬුළු වලින් හෙබි ස්වභාවික පරිසරයක්. පුංචි දිය පාරක් ගෙට පිටු පසින් ගලාගෙන යනව​. දියපාරට වෙන් කරන ලද මීටර් දහයක තරමේ බිම්කඩ දිගටම​මේ පරිසරයට ආවේණික ලිලි වර්ග ගණනාවක මල් පීදිලා. මේ ලතාමඬුළු අතරින් ජනේලයට මීටර් හයක් විතර ඈතින් තියෙන ගහක අළු කොබෙයි ජෝඩුවක් වහලා ඉන්නවා අහම්බෙන් වගේ මං දැක්කා.

පහුගිය අවුරුදු දහතුන පුරාවටම  හැම උදේකම මම දැක්කෙ මේ සජීවි අළුකොබෙයි ජෝඩුව ගහ මුදුනට වෙලා ඉන්න ආකාරය​. ඒතරම් අපූර්ව දර්ශනයක්! මම මොහොතක් ඒ දෙන්න දිහා බලාගෙන ඉන්නව​.
"සාමයෙන් සමඟියෙන් සැවොම එකමුතුවෙලා..."
ඒ වෙලාවට ළමා ගීතයක් මගේ හිතට නැඟෙනවා. දවස ආරම්භ වෙන්නෙ එවැනි පහන් සිතුවිල්ලකින්...
අදත් මම දකින්නෙ මේ එකම සුභ නිමිත්ත​. මේ දෙන්නා හැම උදේකම එකම අත්තෙ එකිනෙකාට සමීපව වාඩිවෙලා අව්ව තපිනවා. දවස පුරාම වැඩිකාලයක් ගත කරන්නෙ ඒ විදියට​. තවත් වෙලාවකට උස ගස් දෙකක වහලා එකිනෙකා සංවාදයක යෙදෙනවළයාන්විත හඬින් එකිනෙකා අමතනවා. මේ කොබෙයි ජෝඩුව වගේ සැහැල්ලුවෙන් සමඟියෙන් සමාදානෙන් ජීවත්වෙන්න මිනිස් වර්ගයාට තරමක් අමාරු ඇති...

මොකද අපි , මිනිස්සු විදියට එකිනෙකාට අයත් අපි වටා අපිම  මවාගත්ත,  ලෝක තියෙනව. අපි වටා නිර්මාණය කරගත් නන් විසිතුරු සිහින ලෝක හරි සුන්දරයි! හරියට නිද්‍රාගතවු විට දකින සොඳුරු සිහිනයක් වගෙයි. නින්දත් නොනින්දත් අතර අපි සිහින වියනවා අකුලනවා. දිගාරිනවාආයෙ සිහිනයේ හැඩ වැඩ බලනවාඒ ගැන ආඩම්බර වෙනවා. අහම්බෙන් හරි ඇහැරුනොත් හිතෙනවා ඒ සුන්දර හීනයේ තවටිකක් ඇලී-ගැලී ඉන්න. සත්‍ය ලෝකය කටුකයි. ඒනිසා සැබෑව අත්දකින්න බයයි වගේ හිතට දැනෙනවා. අපි වටා නිර්මාණය කරගත් ලෝක බිඳ වැටෙයි කියලා අපි බයයි.

ඒ ලෝක වලට පිවිසුනාම එළියට එන්න අමාරුයි. එළියට එන්න බයයි අපි තනිවෙයි කියලා. ඇතුළෙ ඉන්න බයයි අපි ඒ ඒ ලෝකවලට අයිති නැති නිසා. ඒ ලොවටත් නෑ . මේ ලොවටත් නෑ. “අපි” කියන ස්වාධීන මනුස්සයාට  ඇහුම්කන් දෙන්න බයයි. අපිට පාර වැරැදෙයි කියලා. සම්මත ලෝකයේ නීති රීති කර්කශයි. ඒ කටුක බව​තික්ත බව කරිවිල ඇට හැපෙනව වගේ වුණත් ඒක ඉවසා වදාරන්න සිදුවෙනවා.

ඇතුළෙ ඉන්නත් මොන හෙයියන්මාරුවක් දරන්න වෙනවද​? තැළිලා පොඩිවෙලා,  මුළු ආත්මයම දියකරලා යමක් කළත් බේරිල්ලක් තියෙනවද? ලෝකයා අහන කෝත්තරවලට උත්තර බඳින්න වෙනව හරියට බැංචියට නැඟපු නඩුකාර උන්නාන්සේ ඉදිරිපිට හිට ගත්තා වගේ. ඉතින් අපි, " අපි" නොවී ලෝකයාගෙ ප්‍රමිතියට ගැලපෙන එකෙක් වෙන්න යටත් වෙනව​. අපේ ආත්මය ලෝකයාගෙ දෙපා මුල පූජා කරලා.  නිදහසේ ඉපදුනාට නිදහසේ ජීවත් වීමෙ අයිතිය අමු අමුවේ පාවා දෙන්න වෙනව. ඒක තමයි මනුස්ස භාවයක් ලැබීමේ ඛේදවාචකය​. 

අපි හිතන්න පතන්න ඕන ලෝකෙ සම්මතයටයටත්ව. පූර්ව නිගමනයන්ට අනුව මිනිස්සු ජීවත් විය යුතුයයි අපේක්‍ෂිත, දෙන ලද නිර්ණායකයන්ට අනුකූලව. ඒ සීමා මායිම් වලින් පැනීම හෝ රිංගා යාමට හිතීම පවා දඬුවම් ලැබිය යුතු වරදක්. කුරුස ගතකර ඇණ ගසා තැබිය යුතු වරදක්! නිදහසේ හිතන මිනිසුන් දවසකට කීවරක් නම් කුරුස ගත විය යුතුද​? ජීවිත කාලයක් තිස්සේ කුරුසයේ වධ විඳිය යුතුව තිබෙනවා. උපන් හැම මිනිසාම දැනුවත්ව හෝ නොදැනුවත්ව​, කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් කුරුස ගත් වීමට යටත්. එහෙම   හැඟෙනකොට, අළු කොබෙයියෙකු වීම භාග්‍යයක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්! 

සම්මත ලෝක චාරිත්‍ර වලට අනුකූලව අන් කෙනෙකුගෙ මිණුම් දඬුඇගැයීම් වලට නතුවෙලා ජීවත් වෙන්න හැම විටම බල කිරීමක් තියෙනව. අන්තිමට අපි හීනෙ ත් හැබැහිඇතුළෙ ඉන්නත් මොන හෙයියන්මාරුවක් දරන්න වෙනවද​? තැළිලා පොඩිවෙලා,  මුළු ආත්මයම දියකරලා යමක් කළත් බේරිල්ලක් තියෙනවද? ලෝකයා අහන කෝත්තරවලට උත්තර බඳින්න වෙනව හරියට බැංචියට නැඟපු නඩුකාර උන්නාන්සේ ඉදිරිපිට හිට ගත්තා වගේ. 

අපි හිතන්න පතන්න ඕන ලෝකෙ සම්මතයටයටත්ව. පූර්ව නිගමනයන්ට අනුව මිනිස්සු ජීවත් විය යුතුයයි අපේක්‍ෂිත, දෙන ලද නිර්ණායකයන්ට අනුකූලව. ඒ සීමා මායිම් වලින් පැනීම හෝ රිංගා යාමට හිතීම පවා දඬුවම් ලැබිය යුතු වරදක්. කුරුස ගතකර ඇණ ගසා තැබිය යුතු වරදක්! නිදහසේ හිතන මිනිසුන් දවසකට කීවරක් නම් කුරුස ගත විය යුතුද​? ජීවිත කාලයක් තිස්සේ කුරුසයේ වධ විඳිය යුතුව තිබෙනවා උපන් හැම මිනිසාම දැනුවත්ව හෝ නොදැනුවත්ව​, කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් කුරුස ගත් වීමට යටත්. එහෙම   හැඟෙනකොට, අළු කොබෙයියෙකු වීම භාග්‍යයක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්! 

 ඒ විදියට බැලුවාම අපි, අපිට ඕනෑ විදියට ජීවත්වෙලා නැහැ.  හැබෑ ජීවිතය අත්දැකලා නෑ. ඔය විදියට අපි ජීවත් වෙන්නෙ අපිට ඕන විදියට නෙමෙයි. අනුන්ට ඕන විදියට​. ඒ අපි "ශිෂ්ඨසම්පන්න" මිනිස්සු නිසා . ඒකත් අනුන් අපි පිට බලෙන් පටවාපු අනන්‍යතාවක්. ඒ අනන්‍යතාව යම්දවසක හැව අරිනවා වගේ අතාරින්න නියමිතයි.

එහෙම ජීවත් වෙලා අන්තිමට නොදැන ආවා වගේම නොදන්නා තැනකට යන්න සිද්ද වෙනව​. ඒක සූදානම් නැති ගමනක්. මුළු ජීවිත කාලයක් අනුන් ගේ ඕනෑ එපාකම් අනුව​අනුන් සතුටු කරන්නජීවත් වෙන්න ලක ලෑස්ති වුණාටමෙතුවක් කාලයක් වියාගත්ත සිහින පැදුර වැරැහැලි වෙලා මහ මඟ අතෑරලා යන්න සිද්ධ වෙන එක ගැන හිතට චකිතයක් දැනෙනව​. ඒක උසස් මනසක් ඇති ශිෂ්ඨසම්පන්න මිනිස්සූ කියන සත්ව වර්ගයා නතු විය යුතුම නියාමයක්.

ඒත් ලෝක නියාමයට අනුව මේ කොබෙයි ජෝඩුව බොහොම ළෙන් ගතුව ජීවත් වෙනව​. ඒ අය ළඟ නීති පොත් නෑ. එකිනෙකාට ආදරෙන් ආමන්ත්‍රණය කරනව​. නිදහසේ පියාසර කරනව​. හැම වෙලාවෙම උස් අත්තක එකිනෙකා සමීපයෙන් ඇනතියාගෙන ඉන්නව​. ජීවිතයට සූදානමක් නෑ. එදිනෙදා ගත කරනව​. ආවේ කොතැනින්ද කියලා හිතන්නටවත් යන්නේ කොතැනටද කියලා තිගැස්සෙන්නටවත් ඒ අයට අවශ්‍යතාවක් නෑ. අවුරුදු දාහතරක් කොබෙයියෝ දෙන්නා හැබෑම​ “කුරුළු ජෝඩුවක්” වගේ එක දිගට ප්‍රේමයෙන් සාමයෙන් සමාදානයෙන් ජීවත් වෙනව​.මේ අවුරුදු දාහතර පුරාම හිටිය විදියට අදත් අළු කොබෙයි ජෝඩුව මා මුලින්ම ඒ දෙන්නව දැක්ක විදියටම කවුරි ගහේ අත්තේ වහලා ගිමන් හරිනව​. 

මල්ලිකා එම් බණ්ඩාර​

11. 11. 2018




Saturday, 3 November 2018

විලක්කුව


ගෙදර හිටිය සෙනඟ ටිකෙන් ටික එහා මෙහා වුණාට පස්සේ චිත්‍රලතා මිදුලට බැස ඒ මේ අතට කීපවරක් ඇවිද්දේ නිම්මක් නිනව්වක් ඇතුව නොවේ. නවම් මහේ උණුසුම තීව්‍ර වෙන්නට පටන් ගෙන යයි ඇයට හැඟුණි. තුරු හිස් මුදුන් පසුබිමෙන් ඔබ්බෙහි ඇගේ දෑස් යොමුවුණේ හඳුරුක් කන්ද මුදුනෙන් පෙනෙන අනන්තතය දක්වා දිගාවුණ හිස් අහස දෙසටය​. අහස නිල් පාටය​. පාලුය​.
දුරුත්ත වෙනකොට  ගස් වල කොළ හැලිලා ඒ වගේ වෙලාවට හරිම පාලුවක් මුළු පරිසරය පුරාම විසිරිලා තියෙන්නෙ. චිත්‍රලතා පිල්කඩ මත වාඩිවී වැට අද්දර තියෙන දැවන්ත බුළු ගහ දෙස බලාගෙන සිටියාය​. 

චිත්‍රලතා කුඩා දැරියකව සිටියදී අම්මා විසින් කියා දෙන ලද කවියක් ඇගේ සිතට පිවිසුණි. පුංචි සන්දියේ නම් ඈ ඒ කවිය කියන්නට බෙහෙවින් මැළි වූවාය​. කවමදාකවත් ඇයට කවියේ අවසාන පදය වචන වලට නගන්නට නොහැකි වූ බව ඇයට මතක් විය​.  තුන්වන පදය කියන විට ඇගේ කට හඬ බැරෑඬි වෙන්නටත් දැස් බොඳ වෙන්නටත් පටන් ග නියි. උගුරේ හිරවෙන ඉකියක් නිසා හතරවන පදය ගිලගන්නට සිදුවෙයි.  වියපත් ගැහැණියක ලෙස අදත් චිත්‍රලතා ​ කවිය හිතෙන් කියෙව්වා මිස වචන වලට හැරවූයේ නැත​.

“ඉර පායා ඉර මුදුනට එන්න එපා
සඳ පයා සඳ මුදුනට එන්න එපා
බලා සිටි ගහේ දළු ලියලන්න එපා
අම්මා නැතිදාට බඩගිනි එන්න එපා

ඒ මොහොතේම කෙනෙකු විසින් මාගල් මිටියක් ගෙනවිත්  මිදුලේ කොණකට අතහරිනු චිත්‍රලතා දුටුවාය​. අම්මා විසින් වියන ලද මාගල් ආනම මීයන් විසින් කැතිගා දමා තිබෙනු දැක කෑගසා හඬන්නට ඇයට ඕනෑවිය​.  ගිනි කන්ද​ක් පුපුරා පිටවන ලෝදිය ප්‍රවාහයක් මෙන්  මොහොතකින් ඇගේ කම්මුල් දිගේ කඩා වැටුණ ගිනියම්වූ  කඳුළු පිහිල්ලක් මෙන් රූරා ගලා බසින්නට විය​.  දෙකම්මුල් දොවාගෙන ගලන කඳුළු ඇගේ ගෙල දිගේ ගලා ගොස් ගවුම් කරෙන් උරාගෙන සීතල දියත්තක් මෙන් ඇගේ ළය මඬල තෙමා තිබිණි.  එහෙත් ඈ කඳුළු නවතා ගැනීමට හෝ පිස දමා ගැනීමට කිසිදු උත්සාහයක් නොගත්තාය​. දෑසේ බොඳවුණ කඳුළු තරලය අතරින් යන්තම් හිස ඔසවා බුළු ගහ දෙස බලා සිටියාය​. රක්ත වර්ණ ළදල්ලෙන් පිරි බුළුගහ දිගේ ලේනෙකු යටිකුරුව බසින අයුරු ඇගේ ඇස ගැටුණි.
මේ මාගල් වියන්නට කොයිතරම් නම් කාලයක් අම්මා විසින් වැයකරන්නට ඇද්ද​?මහ වැහි වහින කාලයට එළියට පහළියට යන්නට එන්නට අපහසු දිනවල අම්මා තල්කොළ මිටිය ඉණේ ගසාගෙන ඇවිත් මඩුවේ පිල්කඩ මත දමා මාගලක් පුරන්නීය​. නැත්නම් අව්වේ වේලාගත් පන් විටියක් ගෙනවින් පැදුරක් පුරන්නීය​. රාත්‍රි කලවල පවා කුප්පි ලාම්පුවේ එළියෙන් නැත්නම් ලන්තෑරුම් එළියෙන් ඇය ඒ කාරියේ නියැලුනාය​.

" නිදිමත නැත්නම් අර යසෝදරාවත ගෙනත් මට ඇහෙන්ට කවියක් කීවනං නරකද​?"
අම්මා අසන්නේ චිත්‍රලතා විසින් ලාම්පු දැල්ලට අල්ලා පොල් ඉරටුවක් දල්වා පන්දමක් සේ හිසවටා කරකවන ගිනිවිජ්ජාව​ වැළක්වීමටය​.
"යසෝදරාවත හැමදාම කියවනව​. අද තේමිය ජාතකය​... " චිත්‍රලතා තේමිය ජාතක කවිපොත පෙරලාගෙන ලතාවකට  ගැයුවාය​.
අතර මඟ පත් ඉරු එළීම හෝ නැඟීම මදකට නතර කරන අම්මා වරින් වර කවිවලට නොයෙකුත් නිරුක්ති උපහැරණ ගෙන හැර දක්වන්නීය​. චිත්‍රලතා එවන්විට නිහඬව අම්මාට සවන් දුන්නාය​.
සමහර විට අම්මා විසින් උළුප්පා පෙන්නුවේ අම්මා කෙනෙකු තම දරුවන්ට ඇති අපරිමිත සෙනෙහය. 
"දිවි දෙවෙනි කොට මං උඹලට ආදරෙයි"යයි ඇය වචන වලට නැඟුවේ නැත​.නමුත් අම්මා ගේ හිතේ තිබුණේ "මමත් ඒ වගේම ආදරෙයි" කියන අදහස නේදැයි චිත්‍රලතා සිතන්නට වූවාය​.

“මේ තරම් පාළුවක් ගේ ජීවිතයේ කිසිම දිනක දැනිලා නෑ. මේතරම් අසරණ බවක් තනිකමක් කවදාවත් දැනිලා නැහැ."
චිත්‍රලතාගේ හිත කොඳුරනු ඇයට ඇසිනි.  ඇය තමාටම කොඳුරා ගත්තාද, ඒවා වචන සේ මුවින් පිටවුණාදැයි ඇයට නිනව්වක් නැත​. සියුම් සැතක්  පීරි ගාන්නාක් මෙන් තියුණු, සාතිශය සංවේදනාවන් ගෙන් ඇගේ සිත පිරී ඉතිරී යන්නට විය​.

මද නිහැඬීයාවකට පසු නොයෙකුත් මං පෙත් ඔස්සේ ඇගේ සිත දිවයන්නට විය. මොහොතකින් චිත්‍රලතාගේ මතකය බාල කාලයේ අකුරු කළ ගොඩැල්ලේ ඉස්කෝලේ දක්වා  ඊතලයක වේගයෙන්  පියාඹා ගොස්  තුන්වෙනි පන්තිය මත පතිත විය​. ඇය මොහොතක් පන්තියේ කොට බිත්තියට ආසන්නව වාඩිවී සිටියාය. ඉන්පසු බිත්තියට හේත්තුවී ගෙනම, විදුහල් පතිතුමාගේ මේසය තිබූ වේදිකාවට ගොඩවූවාය​. ප්‍රධාන ශාලාවේ වේදිකාව පිටුපස දොරටුවෙන් කෙලින්ම ඇතුළු වන්නේ ගුරු කාමරයටය​. වේදිකාවෙන් පහල ශාලාවේ එහා කෙලවර දක්වාම ක්‍රමවත්ව ප්‍රතිවිරුද්ධ දිශාවන්ට මුහුණ ලා පන්ති හතරක් විය​. හෝඩියේ පන්තිය​, පළවෙනි පන්තිය , දෙවෙනි පන්තිය සහ තුන්වන පන්තිය ලෙසිනි. මේ පාසල අළුතින්ම පටන් ගත්තේ මීට අවුරුදු හතරකට පෙරය. මුලින්ම ඉස්කෝලෙට බාරදුන් ළමුන් වූයේ චිත්‍රලතාගේ පන්තියේ දරු දැරියන් ය. එකිනෙකා එදා සිටි ආකාරයෙන් දිග බංකුමත මේ පන්තියේ වාඩිවී සිටියා ඇයට තාමත් මතකය​.

“මං වාඩිවෙල හිටීයෙ දකුණු පස දෙවෙනි පේළියේ”.
ඉදිරිපස  පේළි දෙකේ  පිරිමි ළමුන් දහ දෙනා බැගින් වාඩිවී සිටි අතර දෙවන සහ තුන්වන පේළිවල ගැහැණු ළමුන් වාඩිවී ​සිටි ආකාරය දැනුත් ඇයට සිහිපත් කළ හැකිය​. පන්තියේ හතළිහ ඉක්මවූ ළමුන් සංඛ්‍යාවක්  සිටි බව චිත්‍රලතාට මතකය​.
"මම දෙවෙනි පේළියේ  දකුණු කෙලවරේ කොට බිත්තියට යාව වාඩිවුණේ. මගෙ දකුණු පැත්තෙන් නංගි, සීතා. එයා මගෙ පුංචි අම්මගෙ දුව​. අපිදෙන්නා එකම වයසෙ. මාස දෙකක වෙනසක්  අපි අතරේ තිබුණේ. ඊළඟට පද්මිණි, සුමනා, ස්වර්ණා, ඉන්ඳ්‍රා, ලලිතා, ශීලා, සාමා. මාලා අනු පිළිවෙළින් වාඩිවුණේ.
නංගී ඇරෙන්ට අනික් හැමෝම එක පිලක​. විවේක කාලෙ ආවම රොත්තම දුවනවා පිට්ටනියට රබර් බෝලයක් නැත්නම්, ගෙදරින් ගෙනාව ආම්පන්න අරගෙන සෙල්ලම් කරන්ට. එක්කෝ ලණු පණින්ට ලණු පොටක්, නැත්නම් කුඩා ගල්කැට පහක්; ගල් කෙටීම නමැති ක්‍රීඩාව කරන්න​.
"සීතා එන්ට බෝල් ගහන්ට​".
ඉඳහිට සීතා නංගිට අනික් ළමයි කතා කරනව​. නංගී අනික් ළමයින් එක්ක සෙල්ලම් කරන්ට ගිය වෙලාවට මම පේව්මන්ට් එකේ බිම ඉඳගෙන අනික් ළමයි පිට්ටනියේ සෙල්ලම් කරන දිහා බලා ගෙන හිටියා.
" අල්ලන්ට එපා බෝලෙ"
බෝලයක් මා සිටිතැනට ආවිට සමහර කට සැර ළමයි මට තර්ජනාත්මකව කඩා පැන්නා.  මම නිශ්ශබ්දව හිටියා.
ඉස්කෝලෙදි එහෙම වුණාට ගෙදරදී සෙල්ලම් කරන්න මට මගේ වයසෙම යාළුවෝ හතරදෙනෙක් හිටියා. හතර දෙනාම ගියේ වෙනත් ඉස්කෝල වලට​.
මම - කඩේමැණිකෙ
නා ගහළඟ ගෙදර - චූටිමැණිකෙ
වත්තේ- රතුමැණිකේ
රිටිගහගොඩ - බිසෝ මැණිකේ
අපි හතර දෙනා එකිනෙකාට හිතවත්. එකට සෙල්ලම් කළා.
බෝල් ගැහුවා, චක් ගුඩු පැන්නා. එල්ලේ ගැහුවා, ගල් කෙටුවා, ගස් නැග්ගා, හැංගි මුත්තං සෙල්ලම් කළා නිවාඩු  කාලෙත් සති අන්ත වලත් අපි එකතු වෙල කැබැල්ල ගෙඩි කඩන්ට නාරබැල්ලට ගියා.  අපි නාරබැල්ලේ ඇලට ගිහින් පැය ගණනක් එක දිගට නෑවා.
"අපි යමු අද හෙට්ටියාවත්තට​. කෑමරංගා, ලොවි, මසන් ඉදිලා මේ දවස්වල​".
රතු මැණිකේ යෝජනා කරනව​.
 "අපෝ බෑ". මුරකාරයා එලවාගනියි. චූටිමැණිකේ අදිමදි කරනව​.
 "අපි යමු අපේ ලොකු අම්මලෑ ගෙදර​. එහෙ ගහේ රටගොරකා ඉදිලා. ගහේ අතු පිරිලා".
අපි ඔක්කොම " හා!" කියලා යනව​.

රටගොරකා ගහ මීටර් හත අටක් විතර උසයි. මුල හරියේ අතු අඩුයි.  මීටර් එක හමාරක් දෙකක් විතර උඩින් තමයි අතු තියෙන්නෙ. අපි පොල් පිති දෙකක් ගෙනත්,  එකක් මීටයරක් විතර උස පොල් පිත්තකුයි , මීටර් බාගයක් විතර එකකුයි ගහ මුල තියලා ගහ උඩට නඟිනවා හීං සීරුවේ. අතු හෙලවෙන්නෙ නැති ගාණට​. කොට පොල්පිති ඔළුවේ පයගහලා ඊළඟ පොල්පිත්තට නැග්ගම මගේ උස හරියනව පළවෙනි දෙබලේ එල්ලෙන්න පුළුවන් ගාණට උසයි. චූටි මැණිකෙටත් ගහට නඟින්න පිළිවන් උස නිසා, අනික් දෙන්න ගහ මුල අපි කඩලා දාන ගෙඩි අහුලලා කොළපොතකට එකතු කරනව​. අපි දෙන්නා ගහේදිම හොඳට ඉදුන ගෙඩි කඩාගෙන කනව .

" අනේ අපටත් දාන්ටකෝ".  ගහ මුල ඉන්න බිසෝ ඇවිටිලි කරනව​".
බිසෝට ගස් නඟින්න බෑ ඒත් කට ටිකක් සද්දෙ වැඩියි. දවසක අපි ගහමුදුනේ ඉන්න වෙලාවක; ඉතින් බිසෝ උඩ බලාගෙන ඉන්නව මැසිවිලි කියකියා. අපි තුන් දෙනා රිලව් වගේ ගෙඩි කනව​. ඉඳහිට එකක් බිමට දානව​.
 ඔන්න ටික වෙලාවක් යනකොට චූටි මැණිකේ කෙඳිරුව;
"අපෙ ලොකු අම්මා බලාගෙන ඉන්නවා . බහිමු ඉක්මණට​" කියල​.
බැලින්නම් අර ලොකු අම්මා ඉඟටියට අත් දෙක ගහගෙන. තව ටිකකින් එක අතක්  කමුලට තියාගෙන​, බලාගෙන ඉන්නව​.
 අපි දඩි බීඩි ගාලා ගහෙන් බහින්ට පටන් ගත්තා ටික දුරක් අත්තෙන් අත්තට බැහැල  මං බිමට පැන්නා. චූටිමැණිකෙත් ඒ විදියටම ගහෙන් බැස්ස​.
"ගහ මුදුනේ ඉඳලා පනින්ට ගිහින් පුළුවන්නං කඩා ගනිල්ලා අන්ඩක්. මගෙ අප්පේමුං කෙල්ලොද කොල්ලොද දන්නෑ. හරියට ඉලංදාරි වගේනෙ අප්පා ගස් නඟින්නෙ. රිලා රෑන වගේ ගහේ ගෙඩිටික බරුගැහුව සීරුව විතරක්!

අපේ පුංවි කාලය කොයිතරම් චමත්කාර ජනකද කියලා හිතෙන්නේ දැන්! ඔය විදියේ සති අන්ත නිවාඩුකාල කොයිතරම්නම් පහුකරන්න ඇද්ද​? ඒ මං කඩේ හිටිය දවස්වල​. මං ගෙදර ගියාට පස්සෙ; ඒ කියන්නේ කිරිඅම්මලාගෙ ගෙදර ගියාට පස්සෙ, මට එවැනි යාළුවො හම්බවුණේම නැහැ. අපේ අම්මා හිටියේ කිරි අම්මලා දිහාවෙ. අම්මා අපිව අරන් කිරි අම්මලාගෙ ගෙදර නතර වුණා. ඒ අවුරුදු තුනක කාලය මගේ ජීවිතේ දුක්බරම කාලය. පුංචි ළමා හිත තුළ අතීතයේ ඇතිවූ වණ කැළල් නැවත පෑරෙන්නාක් මෙන් ඇයට දැනුණි.
අම්මගේ මරණයේ කටයුතු ඉවරවෙලා හත් දවසේ දානේ ඉවර වුණාම; පහුගිය දවස්වල ගෙදර පිරිලා හිටිය නෑදැ  හිතවතුන් විසිර ගියාම, ගෙදර මහ අමුසොහොන් පළක් වගේ චිත්‍ර ලතාට හදිසියේම දැනෙන්න්ට පටන් ගත්තා. ගෙදර උදවිය ගේ අස්-පස් කරනව​. ඒ අයට ජීවිතේ අළුතින් පටන් ගන්න අවශ්‍යයි. ඉතින් අම්මාට අයත්ව තිබු බඩු භාණ්ඩ එහා මෙහා කරනව​.

වරපටක් මෙන් මේ ගෙදරට ඈඳී තිබුණ බැඳීම දිරාගොස් ඇති බවත් තවදුරටත් බැඳීම් දරා සිටින්නට තරම් වරපට ශක්තිමත් නැති බවත් ඇයට හදිසියේ අවබෝධ වෙන්නට විය​. දහ මාසයක් මව් කුසේ ඉඳලා පෙකණි වැල කැපුවාම දරුවෙකු නිදහස් ලෝකයට නිරාවරණය වෙන්නාක් මෙන් අතහල නොහැකිව තිබු බද්ධවීම මේ මොහොතේ ඉහිල්වී ඇතැයි චිත්‍රලතාට ප්‍රත්‍යක්‍ෂ වන්නට විය​.

ඒත් අම්මා නැති ගෙදරඅම්මා හිටිය කාමරය හිස්!  

අම්මා ජීවත් වුණ දවස් වල එකම පහන් ටැඹකින් මුළු ගෙදරම ඒකාලෝක වුණා වගේ. ගෙදර පිරිලා තිබුනේ. අපේ ජීවිතවලට දොළොස්මහේ පහන වුණේ අම්මා. පහන් කන්ද පාමුල අඳුර නොහැරෙන්නාසේ අඳුරට ලැදියවුන් අඳුරේම ලගිනු ඇත​. ඇතැම් විට​, පහන් කන්ද පාමුල හිටිය බොහෝ දෙනා, ඒ පහනින් තවත් එක සිළක්වත් දල්වන්න උනන්දු වෙන්නේ කලාතුරකින්.
ඒත් ඒ දැවන්ත පහන් ටැඹින්, තමන් දල්වා ගත්තේ කිසිවෙකු විසිනුත් නිවා දමන්නට අපෝසත් විලක්කුවක් යයි චිත්‍රලතාට සිතුණි. ඕනෑම අඳුරු අගාධයක හෝ හුදකලා නිම්නයක ගමන් කරන්නට තමන් අත ඇති විලක්කුව ප්‍රමාණවත් බව ඇය තහවුරු කර ගත්තාය​.

තවත් සති දෙකක් ඉන්ට පුළුවන්. ඒත් චිත්‍රලතා  හිතහදා ගත්තා ආපහු යන්ට​.  
“හෙට පිටත් වෙන්න ඕනෑ” කියලා හිතාගෙන ඇඳුම් බැඳුම් ටික ලගේජ් එකට දාගන්න අදහසින් ඇය​ හුන් තැනින් නැඟිට්ටාය​​.


මල්ලිකා එම් බණ්ඩාර​
03. 03. 2013