මගේ දේශය මගේ ජනගණ
මගේ උරුමය කෙළෙසනා
නොරැටියන් විනකටින බව දැන
උන්ට එරෙහිව නැඟිටිනා
මගේ ගත ලේ නහර තෙරපෙන
රුහිරු පුද දී කකියනා
මගේ
යුතුකම ඉටුකළෙන් උන්
හෙලා දැමුවෝ හිසගසා
සැබෑවක්! එය සැබෑවක්මය
සවන් දෙන්නට අඬගසා
මිනිස්වග තුළ හිඳින දෙවිඳුන්
මුණගැසෙන මඟ කී නිසා
නිගාදී පිටිතල හයා බැඳ
මඟ දිගේ කස පහරදී
සාපරාධී
සොරෙකුසේ ගෙනගියෝ
මුහුණට කෙල ගසා
සැබෑවේ ඇති සැහැසි බව දැන
පිටුදකින්නට කටුක සත්‍යය
කටු කිරුළ හිස පළඳවා
කටුක මිදියුස වළඳවා
නිහඬ කෙරුවෝ ගොල්ගොතාවෙදි
බෝදරාළට ඇණගසා!
පොවා වස විස ලවා දඟගෙයි
කටුසැමිටියෙන් හම ගසා
දූතයෝ හැමදාම මියයති
ඇණගසා හෝ හිස ගසා
අසනු රිසි නැති දෙයට ගරහති
පරහ දුටු තැන එරෙහි නොමවෙති
සවන් දෙන්නෝ මුණගැසෙන තුරු
සැබෑවේ පණිවුඩය නොමියෙති
මල්ලිකා එම් බණ්ඩාර
12.25. 2019