ශ්වේත වන් දිගු වළාකුළ
කර දැවුණ මිහි මතට
වියළි තණ පත් දොවා
හීන් බොල් පින්නක්ව
වැටුණාය මල් වැස්ස
කඳුකරේ තණ බිම් සිසාරා හමායන
දකුණු සුළඟේ බිඳෙන
අසෙණි සන් ගීතිකා මැද
පටු බෑවුම් සහිත දෙණි පෙතේ
සැරයටියෙ වෙර ගෙන
බැටළු රැල දක්කාන
තණබිම් සොයායන ගොපල්ලන්
අස්වසන කවියක්ව
වැටුණාය මල් වැස්ස
තිරිඟු යායේ කරල් බර වෙන්න
පැළපතේ නැවුම් මල් පූදින්න
"අඔටියරෝවා" (Aotearoa) මිහි ළමැද
කිරි සුවඳ වෑහෙන්න
වියළි දිගු ගිම්හාන කාලයේ
විඩාපත් තුරු වදුළු සනසන්න
ඇද හැලුණි වරුසාව
නීල වන් අතුපතර සසල කර
වියපත් පත් වලට සමුදී
ළපළු පල්ලවයෙන් ඔපලන්න
ශරද සමයේ ආශිර්වාදය
හීන් බොල් පින්නක්ව
වැටුණාය මල් වැස්ස
බමර මී මැසි දනව්
මියුරු මදු වෑහෙන්න
සුහුඹුල් අතු පතර
ඇපල් මල් පූදින්න
රිදී සුණු ඉසිනසේ
වැටුණාය මල් වැස්ස
මල්ලිකා එම් බණ්ඩාර
22. 03. 2022