පැසක ලා හිස් වැසුම් මිටියක්
ගම් දනව් වල ඇවිදලා
දැහැමි වෙළඳාමක යෙදෙන්නට
ගියෙය මිනිසෙක් පේවිලා
මඟ තොටේ හෙම්බත්වෙලා
විඩාපත් වෙර සිඳුන පායුග
සතපවන්නට සිත් වෙලා
විසල් තුරු සෙවනක ගිමන් හැර
යන්ට හිතුනා නැවතිලා
පවන තුරු පත් නළවලා
ගයන ගීයට මුමුණලා
නිවී ගත සිත එක නිමේසෙක
සැතපුණා මුසපත් වෙලා
ගිම් නිවී ඔහු පිබිදිලා
බලා වට පිට විමසලා
දෑස් අදහනු නොහැකි තරමට
උහුගෙ පැස ඇත හිස්වෙලා
කෙළිදෙලෙන් කුල්මත් වෙලා
හිස්වැසුම් ටික පළඳලා
අතුපතර හිඳ වඳුරු මුළුවක්
පළාතම දෙවනත් කළා
අලකලංචිය වැටහුණා
මහදවල් තරු විසිවුණා
මඳක් නිහඬව ගතවුණා
හිතට ගණදෙවි ගොඩවුණා
වෙළෙඳු හනිකට නැඟිටලා
උහුගෙ තොප්පිය ගලවලා
දෙතුන් වටයක් කරකලා
ඒක අහසට විසිකළා
පියාඹන තොප්පිය බලා
උනුත් දුටුදේ කොපි කළා
තොප්පි අහුලා පැහේ ලාගෙන
ගියා ඔහු ගමරට බලා
21. 03. 2022
මල්ලිකා එම් බණ්ඩාර
No comments:
Post a Comment