අරුණළු සළු හැඳ ගෙන් පිටවී
යළි එන ඉර හැරෙනා යාමේ
රන් තැඹිලිය මල වන් නුබෙ තුණු සිරි
මා වෙනුවෙනි මඟ කර දැවුණේ
ඉස මිටි වෙනතුරු ගල් වැලි ඇදලා
තාර දමන්නට මහපාරේ
කොරියේ ලැග ගෙන කළු ගල් තළලා
කරගැට මල් පිපුණයි දෑතේ
දවසින් දවසම ජවයෙන් දිළිහුණ
ඇතිනියසේ මා හද අරණේ
අපමණ වෙහෙසින කඳුළක් නොසලන
මියුලැසි නුඹවිණි රැකවරණේ
වැර නොසිඳෙන්නට තිර අදිටන්කොට
උරදී දෙදරුණ කැණි මඬළේ
දහදිය කළතා මිණි මුතු අහුලා
උරුමය දෙන්නද මට කිරුළේ ?
සිව් බඹ විහරණයෙන් ඇති දැඩි කර
පිය තෙපුලෙන් දෝවා සිත අමයුර
කිරි කඳුළේ සිට මා සනහන්නට
දැරූ දුකට ණය පියවනු කෙලෙසක ?
ගොරතර සසරෙන් එතෙරව මතුදා
සෙවැනැල්ලක් සේ පසුපස සැමදා
නෑර කැටුව විත් අම්මේ නිබඳා
පසෙක හිඳින්නම් නුඹ බුදු වෙනදා
මල්ලිකා එම් බණ්ඩාර
6. 01. 2023
No comments:
Post a Comment