Wednesday, 6 December 2023

නත්තල් වැස්ස

 

හීන් වැහි පොද මල් පියළි ඉසින්නාක් මෙන් ජනේල පියන් මත පතිත වෙන්නට විය​. දෙසැම්බර් මාසයේ වැටෙන මේ සිරිපොද වැස්සට, පුංචි සන්දියේ අපි කීවේ නත්තල් වැස්ස කියලාය​. ඒ සිහින් වැස්සේ අමුතුම සුන්දරත්වයක් මම දකිමි. පුරා සති දෙකක් එකදිගට පැවති වැහි මන්දාරමත්, නිරන්තර හුළඟේ කෙඳිරිල්ලත්, මඳින් මඳ විසිරුණ වැස්සත් නිමාවට පත් කරමින් උඳුවප් වැහි පටන් ගෙන ඇත​. උත්තර ද්‍රැවයට හිම වැටෙන​, දක්‍ෂිණ ද්‍රැවයට ගිම්හාන අසිරිය ගෙනෙන, බෙත්ලෙහෙම් එඬේරුන්ට එළිමහනේ තම බැටලු රංචුව දිගේලි කරන්නට, ආශිර්වාද කරන ස්වභාව සෞන්දර්යය​ භෞතික විචිත්‍රත්වයන් ඒකතාන වීමේ පෙරනිමිති පහලවී ඇත.

මුළු අහසම ඝණ රිදී වළා කවරයකින් ආවරණය වෙන්නට පටන් ගත්තේ අද උදේය. හීන් මීදුම තරළයක් පරිසරය පුරා විසිරී ඇත. දින ගණනාවක් අඛණ්ඩව විලිරුදාවෙන් මිරිකී, අවසන කුළුඳුල් දරුවා ප්‍රසූත කළ තරුණ ගැහැණියක මෙන් අහස සන්සූන් ස්වභාවයකට පත්ව නිසල විය​. තුරුපත් මත වැටෙන සිරිපොද වැස්ස කෙමෙන් බර වැහි බිඳු බවට පත් වෙලා වහලය මතට ලතාවකට වැටෙන හඬ මා තුළ ප්‍රමෝදයක් දනවන්නට සමත් විය​. අහස වසාගත් හරිත වර්ණ ඕක් වියන මත වැහි බිඳු වැටෙන විට චමත්කාර ජනක ගැඟීම් වලින් සිත පිරී යයි.

කුඩා ඇලපාරට යාව ඝණව වැවුණු ලිලී මල්ගස් යාය මත පතිත වෙන වැහි පොද නිසා උත්පාදනය වෙන මෘදු ධ්වනිය කිසියම් ගීතයක් සිහිපත් කරයි. වැස්ස විසින් අවට පරිසරයෙහි නිර්මාණය කරන තානය කන්කළුය​. ස්වභාවික පරිසරයෙන් මතුවන මේ හඬට සවන් දෙන්නට කවදත් මා තුළ ඇත්තේ මහත් අභිරුචියකි.

ඉතින් මෙවැනි වැහිබර දවසක​, කිතුල් හකුරු කෑල්ලක් සමඟ සිලෝන් ටී එකක රස විඳින්නට ලැබීම භාග්‍යයක් නෙවෙයිද​? කිතුල් හකුරු සහ තේ සුවඳ නැහැ පුඩු තෙරපාගෙන යද්දී මගේ මතක පියාපත් සලන්නේම පොල් රබර් කොකෝවා සහ කෝපි වගාවන් ගෙන් අලංකෘත​ උපන් ගමටය. තේ වගා කළේ කන්දේ එහා බෑවුමේය. එනම් ඉඳුල්ගොඩකන්ද නමැති තවත් අතිරමණීය කඳු මුදුනක් පුරා පැතිරුණු තේ වතුයායේය. ගමේදී වැස්ස, වහින්නේ මීදුම් රොටු වලින් එතුන කන්දෙන් පටන් ගෙන කුඹුරු යායට පිනිදිය ඉසින්නාක් මෙනි. අව්වැල්ලක් වැටී කන්ද නැවතත් පැහැදිළි වෙන හැටි බලන්ට ලස්සනය​.

මාර්තු අප්‍රේල් කාල වල පතනය වෙන මෝසම් වැස්සත්, ඔක්තෝබර් නොවැම්බර් මාස වල ඇද හැලෙන මෝසම් වැස්සත් අපේ පළාත් වලට පැල් බැඳගෙන වහින්නේය​. සීතලය මදිවාට නහයෙන් කටින් කූඩැල්ලන් කඩන්නට සිදුවන වැසි සමය අප්‍රිය නමුත්, කුඩා අවදියේදී වැසි සමය සහ සබැඳුන එදිනෙදා සිදුවන කටයුතු වලට අමතරව විවිධ කැවිලි පෙවිලි සැකසෙන බැවින් වැසි කාලය අප අමන්දානන්දයට පත් කළේය​. අම්මාත්, කිරිඅම්මාත් වැසි කාලයේදි ප්‍රයෝජනයට ගැනීමට, කොස් මඳුළු වේලා ගුල්ලන් නොවිදිනසේ පරිස්සම් කරගනු ලබයි. එමෙන්ම කොස් ඇට, වැලි කොස් ඇට ලෙසත් අටුකොස් ඇට ලෙසත් වෙන වෙනම සකසා ගනු ලබයි. කුඩා වියේදී කෝපි හෝ තේ සමඟ​, අටුකොස් ඇට වලින් තැනූ අග්ගලා කෑමට අපි බෙහෙවින් ප්‍රිය කළෙමු.

පළාතෙන් පළාතට වැස්ස වහින හැටි වෙනස් ය. පේරාදෙණියේ පදිංචියට ගියාට පසු වැස්ස වෙනත් ආරකින් හැඳින ගතිමි. පේරාදෙණි වැස්ස දුවන වැස්සකි. ඒ වැස්ස හන්තාන වැටිය මුදුනින් පැන රණබිම පසුකර රාජකීය උද්‍යානය වෙළා ගන්නේ මහත් ස්නේහයකිනි. දොඹ ගෙඩිතරම් ලොකු වැහි බිංදු බරසාරය​. අයිස් වගේ සීතලය. රිදියෙන් කළ ඊතල මිටියක් විදින්නාක්මෙන් සුළඟට වැහි බිංදු පතිත වෙන්නේ ඇලේටය​. හරියටම අහසත් පොළොවත් යාකර රිදී ඉණිමං බඳින්නාක් මෙනි.  බලාගෙන ඉන්ට ලස්සනය. සවන්දී ගෙන ඉන්ට තරම් ළගන්නා සුළුය​. දරුවන් කුඩා කාලයේදී,  අවුරුදු දොළහක්ම මගේ සැමියා කොළොම්පුරේ සේවය කළ බැවින්, පාසලෙන් පසු බොහෝ විට අපේ කාලය ගෙවුණේ ගෙදරමය​. මෙසේ අප​ ගෙදරටම සීමා ​වීම නිසා දරුවන් පොත් පත් කියවීමට ඇබැහි වූයෙන්, හුදකලා වන මා​ වැස්සේ සෞන්දර්‍යය ආශ්වාදනය කළෙමි.  ඇතැම් දිනවල​, දරුවන්ටද වැස්ස පිළිබඳ කවි කතා කියන අතරේ ජනේලය තුළින් වැස්සේ සුන්දරත්වය විඳින්නට සැලැස්සුවෙමි. මවිසින් පත්තර පිටු වලින් සෑදූ කුඩා බෝට්ටු, වැහි දියේ පාකර හරිමින් ඔවුන්ද අමන්දානන්දයට පත් වන හැටි බලා සිටියෙමි.

පසු කාලයේ ප්‍රිම්‍ රෝස් කන්දේ අපේ ගෙදර සිට, කඳු දෙබොක්කාව අතරේ දැවටුන මීදුම් කැරැළි අතරින් වැස්ස පාවෙන, කිමිදෙන හැටි අපි සියළු දෙනාම බලා සිටියෙමු. ඒ ගෙදරදී,, වැඩුණු දරුවන් සමඟ වැස්ස වින්දේ අප එකිනෙකාගේ පෞද්ගලික රුචි අරුචිකම් වලට සාපේක්‍ෂවයයි මට සිතේ. අවුරුදු දෙකහමාරක හඳුනා ගත නොහැකි, සුව නොවන රෝගී තත්වයක් සමඟ පොර බදමින් මා ජීවත්වූ ඒ දිනවල, දරුවන් පාසල් වලටත් මගේ සැමියා සේවා ස්ථානයටත් ගිය පසු මට නිවසේ හුදකලා වෙන්නට සිදුවිය. කිහිළිකරු ආධාරයෙන් ඇවිදිමින්, එවන්​ හුදකලාවක් සමඟ මා ප්‍රිම්‍ රෝස් කඳු සිරස සිට ගලන මීදුම් පදාසය​ විනිවිද, ඔහේ ජනේලය​ තුළින් දෑස් මුදාහැර​ බලා සිටියෙමි.

ඈතින් දිස්වෙන මහනුවර නගරයත් ඉන් ඔබ දන්තධාතු මන්දිරයත්, ඊට යාබද උඩවත්තා කැළයත්, බොඳවූ චිත්‍රයක් මෙන් මගේ දෑසට හසුවේ. ඒ දිනවල මා සිත තුළ ඉළිප්පෙමින් කිඳාබසින එකම අරමුණ වූයේ මා මෙයින් ගොඩ නොගිය හොත් දරුවන් ගේ කලදවස කුමක් වේද යන භයංකර​  සිතුවිල්ලය​. දරුවන් තනිනොවෙන්නට නම් මා කෙසේ හෝ ජීවිතය අල්ලා ගෙන සිටිය යුතු බවය. මගේ ජීවිතය හා බැඳී වෙළී තිබූ ජීවිත හතරක් අතහරින්නේ කෙලෙසදැයි යන සිතුවිල්ල මට දරාගත නොහැකිවිය​. ගතේ වේදනාව මැඩගෙන දරුවන් ගේ එදිනෙදා ඉගෙනීම් කටයුතු ගැන සොයා බැලීම මගෙන් ගිළිහී යමින් පැවතින​. ඒ වන විට දරුවන් තිදෙනාම, තම තමන් ගේ වගකීම් තේරුම් ගෙන මහත් උවමනාවෙන් ඉගෙනීමේ කටයුතුවල නිරත වෙන්නට පුරුදුවී සිටීම මහත් අස්වැසිල්ලක් විය​. සුපුරුදු කෙළිකවට සිනා හඬ වෙනුවට ගෙදර පුරා දැඩි නිශ්සබ්දතාවයක් අරක් ගෙන තිබිණි. ඒ වෙනුවට ඔවුන් බොහෝ විට පොතක් අතැතිව​ මා අසලින් වාඩිවී නිහඬව කියවන්නට ​ පුරුදුවී තිබුණ අතර, කියවන පොත සම්බන්ධව මතුවන කතා බහකින් අපි දොඩමළු වීමු. 

ඒ අමාරුම කාලය තුළ ඉඳහිට හෝ අපේ දුක සැප බලන්නට ආවේ බැරි අමාරුවෙන් ඇවිදින අම්මා පමණි. ඒ එන විට​ ඇය​ හාල් සහ පොල් සහ ගමේ එළවලු ඇයට හැකි තරමින් ගෙනාවාය​.

"පෙර ආත්මෙක කරපු පාප කරුමයක්ද කොහෙද. නොකළ වෙදකමක් නෑනෙ”. එවැනි දවසක මගේ හිත හදන්නට මෙන් අම්මා කීවාය​.

මා ගැන විස්සෝප වෙන අම්මා, “මගෙ අම්මා හිත හයිය ඇතුව හිටපං. කාලාන්තරයක් තිස්සේ විඳවලා හරි හොඳ වෙන ලෙඩ රෝග තියෙනව​. පරඬැළක් හරි කමක් නෑ, දරුවන්ට අම්මා කෙනෙක් ජීවත් වෙනවා කියන එක ලොකු දෙයක්" යයි කියන්නීය​.

ඒ වනවිට, ගේ සෑදීම සඳහා ගත් බැංකු ණය වාරිකය ගෙවෙමින් තිබූ නිසා අපේ මාසික ආදායම හරි අඩකටත් වඩා පහත වැටී තිබුණි. අසනීප වූ මා සඳහා අවශ්‍ය බේත් හේත් සහ අමතර ආහාර පාන වියදම අනුව​, අතට එන මුදල් කළමනාකරණය කරන්නට බැංකු කළමනාකාරවරයා මහත් පරිශ්‍රමක් දැරූබව දනිමි. ඒ දිනවල, ගෙදර දුරකථනය දවසට දෙවරක් හෝ තුන් වරක් නාද කළේ ඔහු පමණි. ඒ මගේ බේත් වේල් හරියට ගත්තාද යන්න නිශ්විතවම දැනගන්ටය​. ඥාතින් හෝ මිතුරන් සිටියේම නැත​. ඉන්නට ඇත, ඒත් උන්ගේ දුරකථන පවා ගොළුවී ගොස් තිබුණි.

ලොකු මුද්‍රිත අකුරු වලින් "විපත මිතුදම මැනීමේ උරගලකි" යන වැකිය ෆ්‍රේම් කර ගමේ කඩේ බිත්තියේ එල්ලා තිබුණා මගේ මතකයට ආවේය​.

ඒ අවුරුදු දෙකහමාර තුළ අමුත්තන් පිළිගැනීම්, ප්‍රියසාද, අල්ලාප සල්ලාප ඒ වහලය යට සිදුවුණේම නැත​. ජනාකීර්ණ නගරය​ තුළ අප හුදකලා වූයේ ජන ශුන්‍ය දේශයක ජීවත් වන එකම පවුලක් විදියටය​. අවුරුදු දෙකක අවපාත කාලපරිච්ඡේයක් නිමා කොට මා සුව අතට හැරෙන්නට විය​.​

ඉතින් මා නැවත වරක් සුභ වාදීව ජීවිතය වැළඳ දැඩිව අල්ලා බදා ගතිමි. අන්ධකාරය විනිවිද මතුවුණ රිදී රේඛාවක් මෙන් බොඳවෙමින් පැවති ජීවත්වීමේ බලාපොරොත්තුව ආශ්චර්‍යයකින් යළි මෝදු වෙන්නට විය​. සිනා හඬ වියැකී ගිය ගෙදර නිහඬතාවය බිඳී, හීන් සිනා රැළි ගෙයි හතර කොණින් මතුවිණි. ජීවිතය අළුතින් පටන් ගත්තාක් මෙන් අපි කාතුළත් බලාපොරොත්තුවක් ලියළා වැඩුණි. නව පිටුවක්, නව යුගයක් ගැන අපි එක්ව සිහින දැක්කෙමු.

"අපි දරුවොත් අරන් වෙන රටක පදිංචියට​ යමුද?"

දවසක මගේ සැමියා ඇසුවේය​. මම නිහඬ වූයෙමි. නැත, නිරුත්තර වූයෙමි.

දින කීපයකට පසුව ඔහු ඕස්ට්‍රේලියානු තානාපති කාර්‍යාලයෙන් විදේශගත වීම සඳහා අවශ්‍ය​ ඉල්ලුම් පත් දෙකක් ගෙනවිත් තිබුණි. එයින් එකක් ඕස්ට්‍රේලියාවට​ වීසා ලබා ගැනීම සඳහාත් අනික නිව්සීලැන්ඩ් සඳහාත්ය​. සති කීපයක් පුරා මධ්‍යම රාත්‍රිය වෙන තුරුත් අප, තර්ක ප්‍රතිතර්ක මැද විදේශගත වීමට ​ පක්‍ෂව සහ විපක්‍ෂව​ කරුණු ගොනු කළෙමු. "වැඩි ලකුණු තියෙන්නෙ ඔයාට​. මේක අපේ අන්තිම තුරුම්පුව​". 

අන්තිමේදී මට දරු පවුල උදෙසා එකඟ වෙන්නට සිදුවිය​.අන්තිමට අත ඉතුරුව තිබුණේ දැයි නොදනිමි. තුරුම්පුව කුමක් දැයි මම අදවත් නොදනිමි. 


මල්ලිකා එම් බණ්ඩාර​

4. 12. 2023


No comments:

Post a Comment