Friday, 9 August 2024

සහකම්පිත යොත

කුඹුරු දෙණි පෙත් උඩින්

ගම් දනව් වල ඉඳන්

උයන් තෙර කැදැල්ලට​

පියාඹා ඇවිල්ලා

නවමු හිරි මල් වියේ

 වින්ද දුක් කන්ද ළඟ

වැටි වැටී නැඟිටින්න​

වරම් ගත්තා සේම

සෝ සුසුම් නිවන්නට​

හිනා මල් නෙළන්නට​

මන්ද මාරුතය වී

විජිනිපත් සලන්නට​

එකතු වූ අයුරින්ම​

සමු ගන්න දවසෙදිත්

උර දිදී හිඳිල්ලා

සාමාන්‍යයෙන් මිනිස්සු සිහින දකිනවා. සමහරුන්ට හීන පෙනෙනවා, වගේම වෙනත් අය පෙන්වනවා වෙන්නත් පුළුවන්. මමත් සාමාන්‍ය මනුස්සයෙක් නිසා සීන දකිනවා. සමහර මිනිස්සු අභව්‍ය හීන දකිනවා. ඕනම මනුස්සයෙකුට හීන තියෙනවා, අනන්තවත්. නැත්නම් එවැනි ලොකු කුඩා සිහින දකිනවා, අඩුවැඩි වශයෙන්. සමහර විට මුළු ජීවිත කාලය පුරාවටම දැකපු හීන, හීන විතරක්ම බවට පත් වෙනවා. සමහර සිහින තියෙනවා, මහා භයානක හීන ඒවා.

මම දවසක හීනෙන් දැක්කා ශ්‍රී ලංකා සිතියම. ඒක හරියටම සමීප දර්ශනයක් විදියට ගත්තම, ගන්නොරුව ෆාම් එකේ, බීජ පර්‍යේෂණ ආයතනයේ පර්යේෂණ​ කරලා හදපු, හොඳින් ඉදුනම රත් පැහැගත් ඉදුනු පැපොල් ගෙඩියක් වගේ. ඉතින් පැපොල් ගෙඩිය මුහුදේ පාවෙනවා. මං ඒක අහුලා ගන්ට යනකොට, ඒක ඈතට පාවෙලා, ඒ හැඩයෙන්ම මුහුද පුරා දිගෑරෙනවා, හරියට ගොඩ බිමක් වගේ. ඊට පස්සේ, ඒක සමීපදර්ශනයෙන් මැකිලා දුරස්ථ දර්ශනයක් විදියට පෙනුණා. ඈත නිසා පැහැදිළි නැතිවුණත් මිනිස්සු ගොඩක් ඒ ගොඩ බිමේ ඉඳගෙන බිම හාරනවා, හරියට බිංකුණ්ඩෝ වගේ.

අනේ, ඒ බිම හාරලා… හාරලා, ලාවා මතුවෙනකම්ම හාරලා දැම්මොත්! හිතට ඇතිවුණේ මහා සෝකයක්.  ලෝක සිතියම පුරා නන්නත්තාර වෙලා ජීවිතේ අර්ථය සොයන්නට අපාදුක් විඳ,  අභියෝගයට මුහුණ දෙන විප්‍රවාසී ජනී ජනයාට, කවදා හෝ ආපහු  පයගහලා නිදහසේ එක හුස්මක් ගන්ට, බිං අඟළක් ඉතුරුවේවිද කියලා භය භ්‍රාරාන්තියකින් හිත කීරි ගැහිලා ගියා. මවි කුසෙන් බිහිවෙලා, පළවෙනි හුස්ම පොද නාස්පුටය අස්සෙන් ඇතුළට ගන්නකොට, දැනුණ තාම්‍ර වර්ණ පසෙහි සුවඳ නැවත ආඝ්‍රාණය කරන්ට නොලැබෙයි කියලා ළසොවින් තැවෙන්ට පටන් ගත්තා.

මගේ සිහිනය දියවෙමින් පැවති සමයක ඉදිරි කාර්තුවත් සරසවි සබඳතා සීගිරි බිතු තුවම් සේ ශෛලගත වෙනතුරු මගේ දෛනික කටයුතු වල නිරත වීමි​. 

Auckland විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ Research Unit එකට අයත් පර්‍යේෂණ කටයුතු වල, පදනම් මධ්‍යස්ථානයවූ මේ අංශයේ සේවය කළ පිරිස අතරින් අප දහ පහළොස් දෙනෙක්  දෛනික කටයුතු වල නියැළී සිටි මේ ස්ථානය, කොම්පියුටර් සහ ලිපිද්‍රව්‍ය ප්‍රින්ටිං සහ ඡායා පිටපත් ගැනීමේ උපකරණ  වලින් සමන්විත අංග සම්පූර්ණ සියළු කාර්යාල පහසුකම් සපයා තිබුණි. මේ සාමූහික සේවා ස්ථානයේ සිටි සියළු දෙනා විවිධ ක්‍ෂේත්‍රවලට අයත් විශේෂවූ පර්යේෂණ වල නියැලුණ අයවලුන්‍වූ අතර, අපේ කටයුතු නිදහසේ කරගෙන යාමට අවශ්‍ය ශාස්ත්‍රීය පර්‍යේෂණ පසුබිමකින් යුතු ස්ථානයක් විය​. විශාල ශාලාව මැද වෘතයක් සැකසෙන ලෙස මේස තුනක් යාකොට, ලෑලි පලකයකින් එකිනෙකින් ආවරණය වන පරිදි නිමවා,  මා ඇතුළු අප තිදෙනෙක්  ස්ථානගත කර තිබූණ. අප තිදෙනා වෙන් වන සේ අපේ මේස සංවිධානය කර තිබූ නිසා අපිට එකිනෙකා පෙනුණේ නැත. නමුත් කොම්පියුටර් තුන එකම ප්ලග් පොයින්ට් එකට සම්බන්ධකර තිබූ හෙයින් අප වාඩිවී සිටියේ ඉතා ළඟිනි. අප වෙන්වූ යේ මනාව නිමවූ ලෑලි පලකයකිනි.  

එක් උදෑසනක මා දවසේ වැඩ ඇරැඹීමේ ප්‍රථම කාර්යය ලෙස computer එක ළඟ​ වාඩිවී, (ස්මාර්ට් ඵෝන් නැති කාලයක් බැවින්) ඊමේල් පරීක්‍ෂා කළෙමි.  ඉහළ සිට පහලට විවිධ දැනුම් දීම් workshop, conference, meetings පිළිබඳ දැනුම් දීම්​ පසු කරන අතරතුරේ හෙඩින් එක විදියට, “Dear Mrs Bandara,” ලෙස ආමන්ත්‍රණය​ කර තිබූ ඊමේල් එක වවෘත කෙළෙමි. බැලූ බැල්මට​, ඒක සාමාන්‍යයෙන් මෙහෙදි ආමන්ත්‍රණය කරන විදියට වඩා වෙනස්.  ඊමේල් එකේ වාක්‍ය දෙකක් කියවා ගෙන යන විට, නාඳුනන කෙනෙක් විසින් කුමන හෝ හේතුවක් නිසා හෝ මා සම්බන්ධ කර ගැනීම අරමුණු කරගත් ලියමනක් බව වැටහුණා. මම පිටුව දිගේ පහලට දෑස් යැව්වෙමි.

 මා අමතා ඇති මේ පුද්ගලයා සැබවින්ම මා කවුදැයි හරිහැටි නොදැන සිටි බවය​. සිංහල නමක් ඇති නිසා මා ඔහුට උදව් කරනු ඇතයි යන විශ්වාසයෙන් අමතන්නට ඇතයි මට හැඟුණි මගේ දැස් නැවතුනේ, මා මෙතෙක් එම නමින් දැන සිටි එකම පුද්ගලයා මා අමතා ඇති බව දුටු කෙනෙහිය​.

"දුශ්‍යන්ත රොඩ්‍රිගෝ!"

නම දැකපු ගමන් මම යටි උගුරෙන් රැහැයියෙක් වගේ කෑ ගහන්ට ඇති. මගේ ප්‍රහර්ශය කොතරම් තීව්‍ර වීද යත්, අනික් පැත්තේ සිටි සගයින් දෙදෙන, විදුලි වේගෙන් නැඟිට, එකවර ලෑලි පලකය උඩින් මගේ මේසයට එබී බැලුව​.

“Surprised?” දෙදෙනම එකවර ඇහුව.

මම වාඩිවෙන ලෙස ඔවුන්ට අතින් සන් කළෙමි.

ඊමේල් එක අනුව මට වැටහුණේ, ඔහු මා දැන නොසිටි බවය. එය සැබවින්ම ආගන්තුකයෙකුට කළ ඇමතීමක් විය​. කවුරුන් හෝ ශ්‍රී ලාංකිකයෙකුට University of Auckland එකේ තොරතුරු දැනගැනීමේ පරමාර්ථයෙන් ලියා තිබුණි. ඊමේල් එක දෙවරක් කියවා, දුරකථන අංකය එවන මෙන් දන්වා, මම එකෙනෙහිම පිළිතුරු ලීව​. හවස මං ගෙදර ගිය පසු කෝල් කරන බව දැන්නුවද, ඔහු විසින්ම නියමිත වෙලාවට ඇමතුමක් දුන්නා.

මා, මා ගැන සඳහන් කළේ,

අපි දෙන්නාම 73 බැච් එකේ. මතක් කරගන්න පුළුවන්ද මන්දා, මම මල්ලිකා, රාමනාදන් හිටිය?

පැය භාගයක් පමණ අප කථා කළා. ඒ ජූනි මාසය මුල මට මතක විදියට​.

“මං ගෙම්බෝ කොරහට එකතු කරනව වගේ, මේ බැච් මේට්ස්ලා එකතු කරනව. ඔයා දන්නෙ නැතුව ඇති, අපි 73 බැච් එකේ සාමාජිකයෝ දෙසීයක විතර ලිස්ට් එකෙක් තියෙනවා මගෙ ළඟ. මං ඊමේල් කරන්නං දැන්මම”​​.

“මම දන්න යාළුවෙකුගේ දුවෙක්ට තොරතුරු වගයක් ඕන වෙලා තියෙනවා New Zealand විශ්ව විද්‍යාලයක කෝස් එකෙක් කරන්න. එයාට උදව්වක් කරන්න මං Google serch කරන කොට, සිංහල නමක් හම්බ වුණා. කාටහරි කමක් නෑ, ඊමේල් කළා​. බැලුවම හරිම කෙනෙක් හම්බ වෙලා තියෙන්නෙ”.

මේක නම් මහ පුදුමයක්. මම තනියම දැකපු ඒත් කවමදාකවත් ඉටුවේයයි අදහස් නොකළ නිකම්ම නිකං හීනයක්. හුදු මනස්කල්පිතයක්. මම දකින හීනය තවත් අය දැකලා , ඒකියන්නෙ ඒක කණ්ඩායම් හීනයක්!

දුරකථන ඇමතුම අවසන්වුණ වෙලාවේ හිට මගේ හිතේ රටක් රාජ්ජයක් දිනුවා වගේ සතුටක් දෝර ගලනවා. කවුරුන් නමුත් ඒ සද්ක්‍රියාවට දායකවූ හැමදෙනාම අගය කළ යුතුමයි.

සමකාලීන සහෝදරයාට අවශ්‍යවූ තොරතුරු හැකි ඉක්මණින් සොයාගෙන මම පහුවදාම සොයා ඊමේල් කළා.

ඉතින් වැදගත්මදේ මට අර නැතිවුණ, රජ්ජුව​​, 2005 වෙන කොට මට අත්‍යවශ්‍යමයයි දැනුණ අපව එකට බැඳ තබන දාමය​, ​ අහුවුණ එක​. අප අතර ඇතිවී තිබූ ඉවුරු දෑලක පරතරය එකට යාකරන ඒදඬක් දැන් ඉදිවෙමින් පවතින බව දකින්ට ලැබුණාම අප්‍රමාණ සතුටක් ඉහවහ ගිහින් තිබුණා. මොන විදියකින් හෝ අපි එකට ආව ගිය, සරසවිය පුරා එකට සැරිසැරූ, හැමදෙනාම එකම එක වරක්වත් දකින්න, නැවත චාන්ස් එකක් ලැබේදැයි යන සිහිනයක් පමණක්මවූ සිහිනය අහම්බෙන් සැබෑවීමේ සලකුණු පහල වීම මොනතරම් භාග්‍යයක්දැයි මම අමන්දානන්ඳයට පත්වීමි. නැවත සොයාගත යුතුයයි හැඟුණ බිඳී විසන්ධිවී ගිය දම්වැල් පුරුක නැවත පුරුද්දන්ට හීන දැක්ක මට, ඒ හීනය හීනයක්ම පමණක්‍ යයි බලාපොරොත්තු අත් හැර දමා තිබියදී දෑස් පනාපිට සැබෑවක්වී ඇතැයි හැඟෙත්ම මට දැනුණේ අප්‍රමාණ සන්තුෂ්ටියකි. මනෝරථ පූර්ණ වීමේ තෘප්තියකි.

ඉතින් ඊළඟ GAP-73 - get together එකට එන්ටත් පොරොන්දු වුණා. මගේ අත්දැකීම වැනි තත්වයකට මුහුණ දෙන ඕනෑම කෙනෙකු ගැන හැඟීමක් හෝ සැලකිල්ලක් දැක්වීමට, සාමූහිකව බෙදා හදා ගැනීමක් අවශ්‍ය වෙලාවට ඒ සහකම්පිත යොත බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි කියලා මා විශ්වාස කළා.  

මල්ලිකා එම් බණ්ඩාර

June, 2012.

රික්තය​



සමාජශීලී වීමට කැමැත්තක් ඇති මිනිසුන්ට ඒ සඳහා සුදුසු පුද්ගලයින් මුණනොගැහුණාම දැනෙන මානසික රික්තය ඔවුන් අසරණ භාවයකට පත්කරන්නට තරම්  දරුණුය​. මාද එවන අත්දැකීම් සමුදායක් සමඟ ඇමිණී තිබුණි.  කළ්‍යාණ මිත්‍ර ඇසුර අවශ්‍ය වෙන්නේ එවන් විටය​. ඇතම් අහඹු සිදුවීම් පසුපස, තීරණාත්මක අවස්ථා වලට මුහුණ දෙන්නටත්, ඒ හා සබැඳි අනපේක්‍ෂිත නිගමන වලට එළඹෙන්නටත් සිදුවෙන අතර​ මිනිහෙකුගේ ජීවිතය උඩු යටිකුරු කරන සුබවාදී හෝ අසුබවාදී ගමනාන්තයකට ඒ තැනත්තා යොමුවෙන්නටත් ඇති සම්භාවිතාව ඉතා ඉහලයයි මම හිතනව​. ​

2005 අවුරුද්ද, එවැනි හිත කීතු කීතු වලට ඉරලා දැමුණු අවස්ථාවක් සනිටුහන් කළේ. මද අසනීප ගතියකින් සිටි අම්මා බලන්න ඒ අවුරුද්දෙ ජනවාරි මාසේ මම තනියම ගමරට ගිහින් එන්න කියලා පිටත්වුණා. අම්මාගේ අසනීප තත්වය දිනෙන් දින අසතුටුදායක බව පෙනෙන්නට තිබුණි. සති තුනක් වනවිට අම්මා දුර්වල වෙන බව පැහැදිළිවම දකිනට ලැබුණා. තාත්තා ගේ මරණයෙන් අවුරුදු විස්සකට පස්සේ පෙබරවාරි 7 දා ඇගේ අවසන් සුසුම්පොද හිස් වාතලයට මුසුවී අනන්තයට ඇදී යනවා මගේ දෑස් පනා පිටම අත්දකින්නට සිදුවුණා.

ගෙදරට ආව ඇතැම් නෑදෑයින් පවා ඒ වන විට​ මගේ මතකයෙන් ගිළිහී ගොස් තිබුණා. පවුලේ ළඟම නෑදෑයින් හැර අන් බොහෝදෙනා මට ආගන්තුකයින් වගේ පෙනුනෙ. ඒ අයට මං ගැන මතකයක් තිබුණේ නැති තරම්.

"මේ පවුලේ තව පොඩි ගෑනු ළමයෙක් හිටිය නේද​? ඒ ඔයාගෙ නංගි කෙනෙක් නේද?"

සමහරු මගේ මල්ලීගෙන් අහනව​".

 "ඒ පොඩි ගෑණු ළමයා තමයි මේ. එයා මගෙ පොඩි අක්කා. මල්ලී අමුත්තාට කියනව"​.

මල්ලී, නමක් සඳහන් කර එම පුද්ගලයා හඳුනා ගැනීමට පහසු කරවන හෝඩුවාවන් මට කියනව​.

"බොහොම ස්තුතියි, ආවට​". මම දෑත් එකතුකර කෘතඥා පූර්වකව ආචාර කරනව".

“ඉස්තුතියි කියන්නේ? අපි නෑවිත් කොහොමද​? අපිත් මේ පවුලේ නෑදෑයොනෙ" ඔහුගේ හඬ තරමක නොමනාපයක් තැවරිලා වගේ.

“ස්තුතියි කියන්න එපා. මේ මිනිස්සු කැමති නෑ එහෙම කියනවට”​.

මල්ලී කණට කරලා කියනවා. මම නිශ්සබ්ද වෙනව​.

තව කට්ටියක් එනව​. ඇවිත් මා දිහා ඇස් පිල්ලන් නොගහා බලාගෙන ඉන්නවා. මම දෑත් එක්කර ආචාර කරනව ගොළුවෙක් වගේ.

දවස් තුනක් තිස්සේ ඔය විදියයි. තුන්වෙනි දවසේ අම්මගේ කටයුතු අවසන් වෙනව​. රෑ දවල් ගෙදර සෙනඟ පිරිලා.

"කවුද එයා?"… "එයා කවද්ද ආවෙ?'.

කාන්තා පක්‍ෂය කම්මුල් වලට අත ගහගෙන “sympathetically” මං දිහා බලාගෙන ඉන්නෙ. අහම්බෙන් අමුතු සත්වයෙක් දැක්කා වගේ. දහසකුත් එකක් ප්‍රශ්න​.

එකතැන හිඳ​ යන එන හැම දෙනාගේම ඇස් වලට හසුවී රැඳී සිටීමෙන් දැනෙන කෙඩෙත්තුව දරා ගත නොහැකිතරම්.

"ඔයා කාමරේට වෙලා ඉන්න​". ඒ වන විට මගේ ඥාති සහෝදැරියක් මාව​ බේරා ගන්නට ඉදිරිපත් වෙනව​. මම කාමරේ ඇඳට ශරීර කූඩුවේ බර දරාගන්නට හැර ටිකක් හාන්සි වෙනව​.

සාලය දෙසින් අක්කාගෙන් මා ගැන විමසන ගැහැණු පිරිමින් ගේ ප්‍රශ්න මට ඇහෙනව​.

"නංගිත් ඇවිල්ලලු නේද?" "කෝ එයා? අපි දැකලවත් නෑනෙ කාලෙකින්. එන්න කියන්නකෝ” සමහරු කාමරේටත් කර පොවල බලනව. 

නානාප්‍රකාර ගැහැණු පිරිමින් දවස් හතක් ගෙදර පිරිලා. එහා මෙහා වෙන කෑම බීම වර්ග. තේ කෝපි, සිසිල් බීම​, වීදුරු කෝප්ප ගැටෙන හඬ මා තුළ ඇතිකළේ හුදකලා බවකි. තනිවූ බවකි. මේ මිනිසුන් ගේ ප්‍රතිචාර, මා ඔවුන් ගෙන් එකෙක් නොවේය යන සිතුවිල්ල මා තුළ ජනිත කරවන්නට  දරන උත්සාහයක් වැනියයි මට සිතේ.

හිතාමතා මට කිසිම දෙයක් කළ නොහැකිවිය​.

 "ඒ කාලෙ වගේ නෙවෙයි දැන්. ඔයාට මේවා පුරුදු නෑ”. “ඒක එහෙම නෙවෙයි කරන්නෙ මෙහෙමයි ". "දැන් ඉස්සර වාගෙ නෙවෙයි".

"ඇත්ත නේන්නං. මළ ගෙදර මඟුල් ගෙදරක් වගේ දැන්". මම නිශ්‍ශබ්දව ඉන්ට තීරණය කර ගත්තා.

අවුරුදු විසි පහක් ජීවත්වුණ ගම​.  මේ වගේ අවස්ථාවක මගෙ හිතට හයියක් වෙන්ට එක මිනිස් පුළුටක් නැති හැටි. මම මගේ දරු පවුලෙන් මඟෑරිලා. පවුලේ කියලා හිතාගෙන හිටපු අය ආගන්තුකයෝ වෙලා. කාගෙ හරි උර හිසකට බර වෙලා එක කඳුළක් එලලා හිත සැහැල්ලු කර ගන්ට නැති හැටි! යාළුවෙක්, හිතවතෙක් කියලා කෙනෙක් නැති හැටි! මට කැම්පස් හිටිය සමකාලීනයින් මතක් වුණා. අවුරුදු දහ අටක් රැකියාව කළ සේවා ස්ථාන හතරක දෙතුන් සීයකට වැඩි කාලයක්, එකට වැඩ කරපු අය මතක් වුණා. ඒ කවුරුවත් ළඟ පාතක නෑ.

උපදේශකයෝ කෝටියයි. හය හතර නොදත් එකම දැරිවිය මා පමණි. අවමඟුල් කටයුතු නිමවෙන තුරු මම මහා දැවන්ත පිරිසක් මැඳ තනිවූ ඇබින්දන් සිඟිත්තියක බවට පත් වෙලා. නිදහසේ හුස්ම ගත් සජීවි ගෙදර, අම්මාගෙන් තොර හුදකලවු ගෙදර, මට පාලු මූකලානක් වැනි තැනක් විය​. කෑගසා හඬන්නට ඇවැසි තැන මම ගොළු  වීමි. මගේ හිතට ආ යමක් කිවයුතු තැන මම ගොළු වීමි. කණට වැටෙන කුමක් හෝ නෑසෙන සේ මම බිහිරි වීමි. මුළු ගතම හිරිවැටී එක තැන වැතිර සිටියා මිසක, මගේ හිත සැනසෙන යමක් කිව හැකි කෙනෙක් පෙනෙන තෙක් මානයක වත් නොරැඳිනි. 

දශක දෙකහමාරක් ගමෙන් පිට ජීවත් වූ බැවින් මා ගැන ගමේ මිනිසුන් දැන සිටියේ මඳ වශයෙනි. දැන සිටියවුන් පවා මා සහ ඔවුන් අතර පවුරක් බැඳ ගෙන තිබිණි. පවුර විනිවිද දකින්නට ඔවුන් අසමත් වූවා සේම, පවුර බිඳින්නට අවකාශයක් තැබුවේද නැත​. තේරුම් ගත නොහැකි පරතරයක් ඔවුන් විසින් නිර්මාණය කරගෙන තිබිණි. ඔවුන් සහ මා අතර​ පොළොවේ ඉරක් ඇඳ එය අතික්‍රමණය කිරීමට නොදී ඔවුන් විසින් මුර කාවල් දමා තිබිණ. මගේ දුක බෙදා හදා ගන්නට කෙනෙක් මා අසල නොවිණි. මා කියන යමක් තේරුම් ගත හැකි කිසිවෙකුද නොවිණි. ඒ දුක් කන්දරාව පොදි බැඳ ගෙන මම ආපසු ආවෙමි. පැය පහළොවක පමණ ගුවන් ගමන මම මගේ හිත තුළ මගේ ආදරණීය අම්මා පිළිබඳ මතක සුවඳ​ තුරුළු කරගෙන ආපසු මගේ කැදැල්ලට පියාසර කළෙමි.

 එම කාලය තුළ සිදුවූ බොහෝ අනපේක්‍ෂිත සිදුවීම් නිසා මා බෙහෙවින්  මනස්තාපයටත් සංවේගයටත් පත්වීමි. මේ තත්වය කිසිවෙක්‍ සමඟ බෙදා හදා ගන්නට මට අවශ්‍ය වුවත් ඒ සඳහා සුදුසු කෙනෙක් මට හමුවුණේම නැති තරම්. ඒක හරියට මහ මූකලානක් හරහා තනිවම ගමනාන්තය නිශ්චිතව නොදැන ගමන් ඇරැඑඹූ මඟියෙකු ගේ චිත්ත චෛතසිකයන්ට බෙහෙවින් සමාන අත්දැකීමක් විය​.  

ගුවන් යානය ගුවන් ගත වන විට අඳුරේ මැකීයන මව් බිමේ විදුළි එළි කලාමැදිරියන් සේ නොපෙනී යනතුරු බලා සිට හඬා වැටුණෙමි. යළි ඒ භූමියට පය නොතියන්නට මගේ හිත වාරණ පනවන්නට යෙදිණි.

මල්ලිකා එම් බණ්ඩාර​

9. 08. 2024