ජාතිය ආගම කුලමල දේපල වත්කම් ආදිය
නීතිය ළඟ සමාන වී කාටත් නොමැතිව බේදය
යුක්තිය පිරිසිඳ දකින්න හැකි පිවිතුරු කන්යාවිය
දණ නමන්නෙ නැති හින්දයි විලංගු ලෑවේ පාදය
සාධාරණ තීන්දු තීරණ දෙපසම තුලනය කොට
පක්ෂපාතකම් නොතකා සාක්කි සලකා කදිමට
තුලා කටුව රඳවාගෙන අතේ තිබුණ තරාදියට
දෑස පියාගෙන හිටියා යන්න නොදී අගතියකට
අට්ටි ගණන් නෝට්ටු මිටි ගිලපු උන්ව අතඇරලා
තුට්ටූ දෙකේ වංචාවට අච්චුව හිරගෙට යවලා
දෑස් බැඳපු කඩමල්ලෙන් මගේ ගෙලත් හිර කරලා
මරාදාන තුරු ඉන්නද ජීවිත ආලය හැරලා?
සදාචාරයේ සලකුණ තුලාව සුරතෙහි ලෑවේ
විත්තිකාරයගෙ තැටියට රජ මැතිඳුන් ගොඩවූවේ
මඟට බැහැල යන්නට බෑ දැන්නම් මට ලැජ්ජාවේ
කනා මුට්ටි ගහන්නටද තොපි මට දෙවඟන කීවේ
වගක් නැතුව අල්ලස් දූෂණ හමුවේ අයුක්තියට
ගෝල බාලයෝ එක්වී වාසිය ගත්තා සියතට
උතුරු නීතියේ අබිමන තැකුවේ නෑ දොයිත්තකට
මමත් මඩමකට යනවා කඩුව අරන් හැරමිටියට
මල්ලිකා එම් බණ්ඩාර
22. 02. 2022