Wednesday, 23 February 2022

විලංගු ලූ කන්‍යාවිය​




ජාතිය ආගම කුලමල දේපල වත්කම් ආදිය​

නීතිය ළඟ සමාන වී කාටත් නොමැතිව බේදය

යුක්තිය පිරිසිඳ දකින්න හැකි පිවිතුරු කන්‍යාවිය

දණ නමන්නෙ නැති හින්දයි විලංගු ලෑවේ පාදය

 

සාධාරණ තීන්දු තීරණ දෙපසම තුලනය කොට​

පක්‍ෂපාතකම් නොතකා සාක්කි සලකා කදිමට

තුලා කටුව රඳවාගෙන අතේ තිබුණ තරාදියට

දෑස පියාගෙන හිටියා යන්න නොදී අගතියකට

 

අට්ටි ගණන් නෝට්ටු මිටි ගිලපු උන්ව​ අත​ඇරලා

තුට්ටූ දෙකේ​ වංචාවට​ අච්චුව හිරගෙට යවලා

දෑස් බැඳපු කඩමල්ලෙන් මගේ ගෙලත් හිර කරලා

මරාදාන තුරු ඉන්නද ජීවිත ආලය හැරලා?

 

සදාචාරයේ සලකුණ​ තුලාව​ සුරතෙහි ලෑවේ

විත්තිකාරයගෙ තැටියට රජ මැතිඳුන් ගොඩවූවේ

මඟට බැහැල යන්නට බෑ දැන්නම් මට ලැජ්ජාවේ

කනා මුට්ටි ගහන්නටද තොපි මට​ දෙවඟන කීවේ

 

වගක් නැතුව​ අල්ලස් දූෂණ හමුවේ අයුක්තියට​

ගෝල බාලයෝ එක්වී වාසිය ගත්තා සියතට​

උතුරු නීතියේ අබිමන තැකුවේ නෑ දොයිත්තකට​

මමත් මඩමකට යනවා කඩුව අරන් හැරමිටියට​ ​

 

මල්ලිකා එම් බණ්ඩාර

22. 02. 2022




No comments:

Post a Comment