කොස්පොතු ඔයේ
කිමිදී වැලි ගොඩදාන
හුම්මේ තියා
වැලි කූඩය රඳවාන
ඔයබඩ උණ පඳුර
යට මා හිඳුවාන
තෙත රෙදි කඩ
පිටින් කිරි ටික කටගාන
යල මහ දෙක හොඳට
පූදින ගම්මානේ
අත්තමකට ගිහින්
හැම කුඹුරක් ගානේ
රෑබෝ වෙලා ආවත්
සවසක් ගානේ
තුන් වේලටම බත ලිප මත නැටුවානේ
ගොඩ මඩ ඉඩ කඩම්
නැති මුත් පරවේණී
දෙණියේ ගෙපැල
මිස රජ මැදුරක් නූනී
මතකයෙ පිපෙයි
හසරැල් මල් දම් හීනී
මට නුඹ මිහි
මඬළ ඉර හඳමය මෑණී!
නිසසළ ගැඹුර
පමණෙකි දෙනුවන් සඟලේ
දුක් කම්කටොළු මැද නැත කඳුළක් වගුලේ
තරණය කරන්නට
දළ රළ මැඬ ගඟුලේ
තොටියා නුබයි
මා එතෙරට ලූ අඟුලේ
අකලට බිඳුන
යට ලීයේ දඬු රෑන
මහමෙර තරම්
බර උර මත රඳවාන
ලොව සෙට සතර
දී මගෙ නෙත අරවාන
අම්මා පිරුවාද මතුදා නිරුවාන
මල්ලිකා එම් බණ්ඩාර
7. 02. 2022
No comments:
Post a Comment