Thursday, 10 February 2022

උඳුවප් හීන​


 

ඉපදුනදා පුංචි පැටියෙක් බෙත්ලෙහෙමේ

රජතුන් කට්ටුවත් ගෙන ආවලු තෑගි

තේකුඩු සීනි තුනපහ ටික ගත්තාම​

පිංපඩියෙන් අතේ සතයක් ඉතිරි නැති

 

අම්මගෙ ඉණකඩට පොඩි මල් ඉහිරිච්ච

දෙරියන් හමාරයි සුදු පැහැ චීත්තෙට

සිදාදියෙන් උඹ එනකොට නත්තල් දා

අරගෙන වරෙන් ගම්වර කට වැඩිය වටී

 

වේලාපහින් ඔය වැඩපොල ඉවර වෙලා

ගත්තොත් යමක් පන්කොළ මල්ලක දාලා  

බිම නොවැටෙන්න මල්ලේ මුවවිට බැඳලා

පිනිමුව කරත්තෙන් එන රාලට දෙන්න​

 

පමා වුණෝතින්  හක්කලම දික් වෙලා

සැන්ටගෙ තෑගි මල්ලේ ඉඩ ඇහිරේවී

ජිමියා බුරන කොට කලබල වෙයි උන්දෑ

ඌ ගැට ගැහැව්වා මං  අද හැන්ඳෑවේ

 

වැඩපොල වැඩිම නං ගමරට නාවාට

පරහක් නෑ පුතේ කිරි උතුරයි උඹට

කහටක් නෑ හිතේ මට තෑගි නැතුවට

එව්වොත් ඇති ලිවුං කරදහියක් අපිට​

 

මල්ලිකා එම් බණ්ඩාර​

29. 12. 2021

 

No comments:

Post a Comment