කඩා බිඳ කැණි මඬළ
ඉදිකරපු මහ වාහලේ
ලවා ගිනි වියරුවෙන්
දවා කොටුදොර නුඹ විහින්
උරණ වූයෙත් නුඹය
ගිය නුවණ බෝ දුරය
නිවෙන්ටත් පමා විය
කේන්තිය දැඩි හෙයින්
නුඹත් අසරණ වුණා වෙන්නැති
අපව අත හැරලා ගිහින්
නොනිමෙනා ගිනි ඇවිල
විසිර අහසට ඉගිල,
නැඟුන උදහස කරණ කොට ගෙන
සැහැසි ලොව පතිතවී හිසමත
විසිරුණා අප සැවොම දසඅත
සිද්ධවුණ හැම අත්වැරැද්දම
තියා හරි මැද තුලාවේ
කිරා මැනලා දුන් තීන්දුව
විනිසුරන්ටත් සැක හිතෙන්නත
කොතැන කොහොමද වැරැදුණේ
යමෙක් මට පහදනු මැනේ
පහන් සිළ පියපුතු සෙනේ
සදාකල්මද සැඟවුණේ?
නැද්ද අළු යට සැඟවෙලා ගිය
ගිනි පුළිඟු යළි මෙළවුනේ
ජීවිතේ අතහැරුන පාඩම
අපිත් එක්කම එකට ඉඳගෙන
තවත් සැරයක් මුල ඉඳන්
කියවමුද බුදු තාත්තේ?
මල්ලිකා එම් බණ්ඩාර
20. 02. 2022
No comments:
Post a Comment