Monday, 14 February 2022

ඉස්කෝප්ප රැජින


යන්තං සොළොස් වියේ - පැඟිරි කෙල්ල මං

බක් මහ කුමරි තෝරන - තරඟෙට අඬ ගැහුවාම

පණයන්න තරම් - මිරිකුණානෙ විලිලැජ්ජාවේ!


වැඩිහිටි ගැහැණු කියන - සුරංඟන රුව තිබුණේ

හම සුදු ගැටිස්සියන්ටයි - අවුරුදු කුමරි වෙන්ට 

 සුදු හම තිබුණෙ නෑ මට!


ගහ කොළ මල් යායේ - ඇල දොල වෙල් එළියේ -

 අව් වැහි පින්නේ ලැග - දූවිල්ලෙන් නැඟිට්ට​ 

 මං වැනි දැරිවියකට​​ - කිරුළක බර දරන්න බෑ! 


 කිතුලේ මල වාගේ - ලෙළදෙන මඳ සුළඟට -

සිකි පිළ නීල වරල​ - නිතඹේ දඟ කළාට

 දුටු මනතින් බැඳෙන්ට​ - ඇත් දළ පාට උරුම​ නෑ

 

මුතු ඇට දසන් දෙපෙළ​​ - ඉඟ සුඟ පුළුල් උකුළ​

සරිලන උසට මහත​ - ඒත් සුදු හම තිබුණෙ නෑ ඉතිං

තරඟෙට යන්න බැරිවුණා - රැජිනක වෙන්න බැරිවුණා

 

සරසවි ආව කලට - කෙල්ලෝ රැග දෙනකොට

“ගොතනව කොණ්ඩෙ හිරට - අඳිනව ගවුම දිගට

කොටට හිරට  ඇඳල ආවේ - කොල්ලෝ දාගන්නටද?"

කෙල්ලෝ හිනහුණා මට​

 

ලෙක්චර්ස් යන එන කොට​ - හිල්ඩා ගහ යට රැක

කොල්ලෝ එනවා දැළ එලන්නට​ 

“ඇයි මේ ආඩම්‍බර? උඹ බං මාලිනීද​?

පුණ්‍යද​, නැත්නං සුවර්ණද​?”

අම්මපා එහෙමත් ඇහුවා!


සමහරු කීවෙ මට “යකා” - එහෙමත් නැත්තං “ගොරකා’!

“හිච් වෙමු” කීව ගමන් - මට දැන් දෙගිඩියාව!​

“කැතනං එපා වේවි! - බූට් එක කන්න වේවි!”

ආසයි බයයි වගේ - ඒ හින්දා "හා!" කියන්න බෑ

 

නියපොතු හෙමින් විකනවා - නිය’ගින් පොළොව කණිනවා

හොඳටම බැණුම් අහල ​- යන්තම් ෂේප් වෙලා "නාදන්" යනවා

 

සිප් සත ඉවර වෙලා - හොඳටම පදම් වෙලා

ගමරට වැඩම කළා - තනි පංගලමේ

කල්‍ ගත වෙලා වුනත් - කිරුළක් උරුම වෙච්ච​

කළු සුදු දුඹුරු පාට - මායිම් කරන්නෙ නැති 

 ඉස්කෝප්ප රැජිනයි මම​ දැන්!

 

මල්ලිකා එම් බණ්ඩාර 

 11. 02. 2018

No comments:

Post a Comment