Sunday, 14 August 2022

නුඹයි වසන්තය!

 



කොළොම්තොටේ මහ පා වල ඉපදී

සිල්පය ලද්දෝ සුපිරි තක්සලාවෙන්

ආලාපාලුව ගියදා ​ මිනිසත්කම්

හිත් පතුළේ පැලවුණාද නොපණත්කම්?

 

මව් බිම ජාතික උරුමය විකුණා

හත් පරපුරකට රට දැය ණය කළ​

පීඩක පාලක සොර දෙටු මුළකට​

පීඩිත ජන හඬ රළපෙළ ඇවිදින්

කණුමුල් සොලවා වාහල්කඩ බිඳ,

ගොඩගැලුවා සැනෙකින්

 

ඉපදුණ බිම්කඩ යළි රැකගන්නට​

පෙරමුණ ගත් දෑ විරුවාණේ

සන්නස් මිටියෙන් ඉස්ගෙඩි ඉදිමුණ

බමුණු කුලය බිඳි රජිඳාණේ

 

කන්තල විනිවිද ගුගුරා මොරදුන් ​

බින්තැන්නේ මහ ගිජිඳාණේ

ගං පොජේ හිට මං ගච්චපු නුඹ​

සිදාදියෙත් පෑ අබිමානේ

 

රණ ගොස නඟලා කඳවුරු බැඳලා

සහ පිරිවර ගෙන ​ ඔද තෙද පතුරා 

පවිටුන් දළ බිඳ ජය සක පිඹිනා

​​ වසන්තයක් නුඹ මේ මව් දෙරණට!

 

මල්ලිකා එම් බණ්ඩාර

27. 07. 2022