හීන් සැරෙන් දෑස් අරින
නිල් මානෙල් පෙති මත්තේ
දොඹ සූරන වැස්ස වැටී
රිදුම් දෙවන උදැනැක්කේ
විලේ හිඳින මැඩියන් ගේ
මැසිවිලි ගෙරවිලි මැද්දේ
හිඳින්නවත් ඉඩක් නැද්ද
ළපටි නටුව ඉස්මත්තේ
යකුළු පහර වැද සුළඟේ
බිඳී සිහින් මුදු කරටිය
ගැලී පිළී ගඳ කළලේ
කිඳී හිඳින්නේ කෙලෙසද
කකියන ලෝහිත ලේ වැල්
රැඳී මිදී ගිය රොන් මඩ
මුසු වෙන හැටි බලා හිඳින
නොසන්සිඳෙන රළ පෙළ මැඩ
සිඳින මඩින විට නිදියන
කටු අතරින් එබීබලන
නිදිකුම්බා මලක් වගේ
පිපෙන්න මට ඉඩක් දෙන්න
මල්ලිකා එම් බණ්ඩාර
13. 01. 2021