Sunday, 31 January 2021

මලක පැතුම​

 


හීන් සැරෙන් දෑස් අරින​

නිල් මානෙල් පෙති මත්තේ

දොඹ සූරන වැස්ස වැටී 

රිදුම් දෙවන උදැනැක්කේ 


විලේ හිඳින මැඩියන් ගේ

මැසිවිලි ගෙරවිලි  මැද්දේ

හිඳින්නවත්​ ඉඩක් නැද්ද​ 

ළපටි නටුව ඉස්මත්තේ


යකුළු පහර වැද​ සුළඟේ 

බිඳී  සිහින් මුදු කරටිය

ගැලී පිළී ගඳ ​කළලේ  

කිඳී හිඳින්නේ කෙලෙසද​


කකියන ලෝහිත ලේ වැල්

රැඳී  මිදී ගිය රොන් මඩ​

මුසු වෙන හැටි බලා හිඳින

නොසන්සිඳෙන රළ පෙළ මැඩ​


සිඳින මඩින විට නිදියන

කටු අතරින් එබීබලන

නිදිකුම්බා මලක් වගේ

පිපෙන්න මට ඉඩක් දෙන්න​


මල්ලිකා එම් බණ්ඩාර​

13. 01. 2021 


No comments:

Post a Comment