දුනුකේ මලක් සේ සුරැකිව පිපුණාය
සුවඳේ බැරුව මද සුළඟේ රැඳුණාය
මීමැසි බමර කැළ දසතින් ඇදුනාය
මලකට උරුමදේ නුඹටත් ලැබුණාය
කිතුලේ මල මඳින්නට ආ ගිය ඇත්තෝ
ඇතුළේ මනාපෙන් ඉඟි බිඟි පා ගත්තෝ
පතුළේ වැලි පිලට මායිම් කර නැත්තෝ
රන් තැඹිළියට වහ වැටිලා පල ගත්තෝ
මල් මද බිසව් සේ කරකාරය බැඳලා
විල්ලුද පලස් මත යන්නට පේකරලා
කල් යල් බලා හිටියත් කුමරෙකු පතලා
උඹෙ ඉරණම බඹා මල් වැත්තේ කොටලා
දුම්බර කෙතේ රන් දෑකැති පීදෙන්නා
තුන්පත් රටාවෙන් පන්නම් වියවෙන්නා
දඬු වැල් බෑ පිරී පැණි වද මෝරන්නා
ගෙපැලේ කිරි කවඩි හසරැල් බේරෙන්නා
දරු පස් දෙනෙක් අරගෙන මගෙ ලොකු දෝණී
දබරින් ඇවිත් මහ ගෙදරට පරවේණී
මොරදී හඬන කොට විලසින් උළලේනී
මගෙ ළය බිඳී වැටුණා කැබෙලිව හීනී
මල්ලිකා එම් බණ්ඩාර
25. 11. 2020
No comments:
Post a Comment