අසල් වැසි ගෙහිමියන් ඩිනොමිනේෂන් දෙකක
එක රැහක වුණත් නෑ පයුරු පාසානමක
අතරමැදි අපි ඉන්ටර්ෆේත් මැදි පිළිවෙතක
‘ගුඩ් සැමරිටන්’ වෙන්ට සැකයි මේ වගෙ තැනක
දින හයේ වැඩ මුරයයෙ විරාමෙට ගෙදර ගිය
මැවුම්කරු නතර කළ තැන ඉඳන් පටන් ගෙන
ආදම් ගෙ පරපුරට කැඩපතකි මැවිල්ලම
විපරීත කර හමාරයි මැවූ සියල්ලම
මිනිස්කම කියාදෙන්නට ආව මෙසායා
සනුහරේ දඩයමක්වෙලා ඇණ ගැසූ කොට
මරියාගෙ ආත්මය යාඥාවේ තියා
මිනිස් වග ගැළී පිහිනති පාප සාගරේ
තැළෙන පෑගෙන දනට ප්‍රේමයෙන් දයාලූ
සාමයේ පණිවුඩය පැල්පතින් මුදාලූ
පාපයේ හිලව්වට ජීවිතය පුදාලූ
සමිඳ රන්මය නීති කුමට ඔබ ලියාලූ ?
ඇවිද ගිය දිළින්ඳන් සමඟ මඟ මාවතේ
දෙව්පුතුගෙ පණිවිඩය පැහැර ගෙන හිතුමතේ
කිරුළු හොබවන නිරිඳු වතිකානු සිහසුනේ
දුගී පැල්පත් දොරට වඩිනවානම් සොඳේ
මල්ලිකා එම් බණ්ඩාර
25. 12. 2020
No comments:
Post a Comment