Sunday, 17 January 2021

නාට්ටාමිගේ කවිය​


දවස පුරා මහ වීදියෙ ගව් ගණනක් දුවලා  

මද්දහනේ අව් කට්ටේ මුට්ටෙට කර ගහලා

උණු දාඩිය මුගුරු නටන​ පැන් තළියේ බැහැලා

හෙට්ටු කළේ තුට්ටුවකට​ දරු දුක ළෙහි උහුලා 


කුසට නොයන රස මසවුළු සුවඳට ඉව කරලා

හෝටලයේ පයිප්පයෙන් දෝතට දිය ​ඇරලා

තොල තෙමුවා කාසි පණම් ඉණතුර සඟවාලා

ඉරහඳ අව් වැහි නොතකා කල්‍ යල් ගත වීලා


මා නුදුටුව ලොව දකින්න නුඹලගෙ ඇස් ඇරලා 

වෙහෙසුන ගත මිහි ගැබ තුළ සතපන දින යෙදිලා

ඉණිමං හැදුවේ උර මත මහමෙර බර උහුලා

දරු පැටවුණි මහගිරිදඹ​ නැඟපල්ලා උඹලා


සිදාදියේ අගු පිල් වල කිලිකුණු අතගාලා කුණු කූඩය ඉණේ රුවා පණමට නියවාලා හැමදාමත් පිනට ලැබුණ ඇඳිවත දවටාලා උඹ විඳිනා දුකට මගේ හිත අළුවෙයි දාලා


නාට්ටාමි ගෝණි පඩංගුව පිටමත එලලා  

යාප්පුවෙන් මහත්තැන්ට ලේ දහදිය පුදලා

සාප්පුවෙන් උඹට ගත්ත පට කම්බේ ඇඳලා

දළදාවට මල් තියපන් වල්ලියෙ, දුක කියලා 


සුදු පිරුවට ඇඳ කදිමට සිව්මහ දේවාලේ සමන් පිච්ච මල් දෝතක් පුදනා උඩුමාලේ සාන්තුවර පිහිට යදින සුරුවම පා මූලේ

බැතිමතුන්ව දැක යැදලා ගැනපන් ජපමාලේ


මල්ලිකා එම් බණ්ඩාර​


9. 01. 2021



No comments:

Post a Comment