ඒරොප්පේ තෑගි බෝග රජ මැදුරට එවන නියා
ගෙරි හංකඩ එළාගන්න පයින්ඩයක් අරන් ගියා
කොළොම් තොටට කරපු හරිය හිතුවත් ඉවරයයි කියා
එකක් දෙකක් නෙවෙයි ඔන්න වරිග තුනක් ඇවිත් ගියා
සයුරු තටය කළඹාගෙන හම්බන්තොට බලා ආව
සේද සළුව පෙරවාගෙන සුබ අස්නක් ඇතැයි කීව
රුවල් බිඳුන නැවක් වගේ කළපුවෙ නැංගුරම් ලෑව
කොළොම් තොටෙන් ඇරැඹුණාය නැවත මකර වන්දනාව
රාජ රාජ මහ මැතිඳුන් ලොබවී ගෙරිකුණු බුදින්ට
වහවැටුණා කපුටු රෑන සේ නොරටුන් ගේ ධනයට
සිහසුනටම පොරබදනා කොඳු නාරටි නැති රැහැකට
මිලේනියම් එකක් යාවි මකර කටෙන් ගැලවෙන්නට
බද්දට දී පරවේණිය ඇස්සට දත නියවගන්න
සිද්ධවේද හත් පරපුරකටම වහල් කම් කරන්න
කිරුළ උරුම කර සොර මුළකට සනුහරයම නසන්න
බැද්දට යන්නට සිදුවෙයි කුවේණියට වූ ලෙසින්න
පිරිත් නූල් ගැටගසාන සොර දෙටුවන් පිරිවරාන
කුණුකොල්ලෙට රට විකුණති සුදු සළු පිරුවට දරාන
කෙසරිඳුවන් සඟ රජවරු වැජඹුණ මේ බිම පුරාණ
රැකගන්නට අවදිවෙන්න අප මහ නා යතිවරාණ
පාඩම් තිබුණත් කොච්චර ඉතිහාසෙන් ඉගෙන ගන්න
ලාඩම් ගහනවා මිසක් ගොන් රැළකට මක් කොරන්න?
ආඩම්බර තම්බපණ්ණි නම කටුගාලා දමන්න
"පිංපොං" වැනි නමක් අපේ දේසෙට හොඳදැයි සිතන්න!
මල්ලිකා එම් බණ්ඩාර
27.01.2021
No comments:
Post a Comment