Monday, 19 December 2016

ලෙන හැර ගිය කුවෙන්ණීයේ


තරු මල් නෙලා සිහින​ වියනක් බඳින්නම්
සඳ කැන් රටාවෙන් පැදුරක් වියන්නම්
දුහුලැල් වළා සේද සළුවක් සදන්නම්
කුරවී කොවුල් ගීත අහුරක් ඉහින්නම්


පිණි බිඳු මිදී නටන හිරු කැන් පොදින්
නෙළුමක් වෙලා මහද පිපෙනා ලෙදින්
හස රැළි සළාවැටුම මුවවිට බිඳින්
නුඹ මා ළඟින් සොඳුර නොසැලී හිඳින්


බිඳී පෙම් පුරාණේ පිටු ගිළිහිලා
මට හිමි නොවී නුඹව අන් සතු වෙලා
හද සිඳු ගැබේ පතුල මුතුවක් වෙලා
මගෙ සිත් ලෙනේ සුවඳ පිනිදිය උලා
ඉඳ හිට ඇවිත් යන්න පවනක් වෙලා

නදී තීරයේ තනිව සුසුමන් හෙලන්නී
වැදී ඉවුරු දෑලේ දෙරණත දොවන්නී
සැඳෑ අහස රත්පෑ  සිතුවම් අඳින්නී
මැකී ගියෙද දේදුන්න සේ  මා කුවෙන්ණී

මගේ විජිතයේ රැජින​ දුරු රට බලා
පියාසර කරන්නී එක හිත් වෙලා
ගිළිහී ගියෙන් කිරුළ පින් මදි වෙලා
මගෙ ලොව බිඳුන පළිගු බඳුනක් කළා

ළසෝ ගිනි ලවා දැත දෙපයත් වෙළා
දිවා රෑ පවා  නොදැක අඳුරක හොවා 
තනි මංසලේ හිඳින මා අමතලා  
කොඳුරන්නෙ කව්දෝ යළිත් මුමුණලා

මල්ලිකා එම්. බණ්ඩාර

19. 12. 2016


No comments:

Post a Comment