Wednesday, 14 December 2016

සංඝමිත්තා උපහාර ගී

මේ 1992 වර්ෂයේ සමස්ත ලංකා පාසල් භක්ති ගීත තරඟයෙන් දෙවන ස්ථානය හිමිකරගත් මහනුවර උසස්  බාලිකා විදුහලේ ශිෂ්‍යාවන් ගැයූ සංඝමිත්තා උපහාර ගී  - 

සත්කුළු සත් සමුදුරු පසු කරලා
අටළොස් කුළ සිප් සත ගොණුකරලා
තිළිණ කළා ඔබ ලොවම දිනන්නට
උදාර හෙළ වනිතා පරපුරකට
සඟමිත් මෑණියෙනී//

අනේක දුක් ගිනි විඳ භව කතරේ
 නිමවා මොහඳුර සදහම් ගැඹරේ
සමහන් සුවයෙන්  සුවය ලබන්නට
මඟ ඵල සපුරාලූ
සඟමිත්  මෑණියෙනී //

රොන්සුණු මල් මුවරදයෙන් ලංකෘත,​
ගඳ දුම් පහනින් දෙව් බඹ වන්දිත,​
කසා වතින් මුළු දෙවා දහම් ගැබ
සදා වඳිම් හෙළ දීපය පොබ කළ
සඟමිත්  මෑණියෙනී //

-----
පද රචනය : මල්ලිකා එම්බණ්ඩාර 
12. 12 .1992



 සංගමිත්තා උපහාර ගී - 2 

බුදුබණ පදයක සිහිලස වින්දන
බව දුක් ගඟුලෙන් එතෙරට කැන්දන
කප් සුවහස් කල් දම් රස රන්දන
අවිදු අඳුර බිඳ මොක් මඟ බන්දන

හෙළ දිව වනිතා සරදාකාසේ
පුරා සඳයි ඔබ සඟමිත් මෑණී

මොක් මඟ අවුරණ තිත් මහ ගනඳුර
විදාරණය කළ සිත් තුළ පින්බර
 ළහිරු පොදක්වී  දැයම පහන් කළ
උදාර සඟමිත් මව්නි දයාබර

උදා ළහිරු ඔබ ලක් අඹරෝරේ
උදානයයි ඔබ  දෑ ගති අතරේ
හෙටත් අපට නව සඳ කිරණක්වී
යළිත් වඩිනු මැන බණ පදයක්වී


පද රචනය : මල්ලිකා එම්බණ්ඩාර
12. 12. 1992



සංගමිත්තා උපහාර ගී - 3

දඹදිව් තලයම දොවා දොවා ලන
සවණක් ගන රැස් පැතිරෙන්නේ
ජයසිරි මහ බෝ දකුණත් ශාඛා
ගව් සිය ගව් දුර ගෙන එන්නේ

දස දිග පූජිත දහම් විජය ලද
දම්සෝ රජ දෝණී
අන්න බලන් සඳ සේම වඩිනවා
අරහත්වූ සඟමිත් මෑණී

 උඳුවප් පුර පෝදා සුදු බුදු රැස්
තුරු හිස් පීරා වැතිරෙන්නේ
මහ මෙව්නා වන උයන් තීරයේ
මහ බෝ සමිඳුන් හිඳුවන්නේ

අනුරාපුරයේ කැත් කුළ කත් හද
නව පලු පල්ලෙන් සදමින්නේ
හත්ථාළක වෙහෙරේ වත් පුරනා
සිල් සුවඳයි  පැතිරෙන්නේ
----

පද රචනය​: මල්ලිකා එම්බණ්ඩාර

12. 12. 1992




No comments:

Post a Comment