Saturday, 9 March 2019

කුප්පි ලාම්පුව

නිදිබර දෑසින් අකුරු ගණිනවා
සරසවි යන්නට ලබන සැරේ
කුප්පි ලාම්පුව සුසුම් හෙලනවා
පවස නිවන්නට පහන් තිරේ

මගෙ නිදි පැදුරට සඳ රැස් පෙරෙනා 
පොල් අතු වහලේ හිඩැස්  දිගේ
මගෙ හෙවැනැල්ලම සිතුවම් වෙනවා
මැටි ගෙපැලේ කැටපත් පව්වේ

කොවුල් නුරා ගී පද මිමිණෙනවා
සුසුම් හෙලනවා කෑමොර දෙනවා
විකසිත මල් මද සුළඟෙ එතෙනවා
සිතිවිලි රොද බැඳ පියා සළනවා

නෑඹුල් පැතුමක් මල්වර වෙනවා
ඈත අනන්තෙට සුවඳ විදෙනවා
යොවුන් වසන්තයෙ දොරකඩ ගාවා
හීන නෙළා මල් දාම ගොතනවා 

අස්ස කරත්තෙන් ගමරට එනවා 
මහ වෙල මැද​ ගුරු පාර දිගේ
ලස්සෙට කොඩිදා ජීවත් වෙනවා
දෙමහල් නිවසක කොළොම්පුරේ

පහන් සිළට මඳ අඳුර බිඳෙනවා
චංචල හිත යළි වල්මත් වෙනවා
රකුසු හඬට මන​ ලෝල නොවන්නට​
ලෙන් දොර වැහුවා ය​ළි නාරින්නට



මල්ලිකා එම් බණ්ඩාර​

20. 02. 2019

No comments:

Post a Comment