Tuesday, 14 May 2019

මෙත් මල් පීදේවා!


බෙදා වෙන් කරන්නට යොදා මායිම් ලකුණු  
මිනිස්කම මියෑදුන මනස තුළ බිඳි අකුණු
ගිනි තියා දවන්නේ  දැයේ අභිමානයයි
සුණු විසුණු  කරන්නේ ළබැඳි මව් භූමියයි

ජාති ආගම් නොවේ මිනිස් වග රමණීය
පල දැරූ සොඳුරු තෝතැන්න බඳු කමණීය​
ලක්මෑණීයන් ඇකය​ ඕවිල්ලෙ හිඳ නිබඳ​
බෙදී විසිරී ගොදුරු නොවෙමු වග වලසුන්ට​

මරණ භය තරම් සම  භයක් සිත හඳුනාද​?
එවන් භය දැණුන සිත සාමයක් උපදීද​?
බැඳුන අත්වැල සිඳී හිත් පළුදු නොවන්නට ​​
හිඳිමු සිත් මල් පිපී මෙත් සුවඳ හමන්නට

වෙලේ පැළපත කෑව මුවන් ලුහුබැඳ නොයා
පිලේ මුව හමට තඩි දෙනු කුමට දෙස් තියා
සිහළ මුස්ලිම් දෙමළ තුන් නිඹුල්ලුන් කියා
අමතකද එක අහස යට එකම වග නියා

වටු කුරුළු රෑන සේ  එකම අදිටනින් හිඳ​
දැයට වින කටින නපුරට තවත් නොදී ඉඩ​
එකම දැයකට උරුම සමඟියේ පවුර බැද
පියාඹමු  මරණයේ මළපුඩුව කඩා බිඳ

වෙලත් නියරත් කාය  ළා ගොයම පැලපතේ
කැනහිල්ලු කෙළිති ලේ සුවඳටම  දස අතේ
අපිට අප පමණක්ම බව තියා ගෙන හිතේ
අවදියෙන් හිඳිමු නොරැවැටී හිඳ​ නිදිමතේ

මල්ලිකා එම් බණ්ඩාර​

14. 05. 2019

No comments:

Post a Comment