Friday, 30 August 2019

A leaf from a diary




When I die, don’t say or write that
I went to heaven or Nivan
How do you know, where I am?
Throughout the life in this earth
Mostly, I lived with myths,
that created, produced, and composed;
by the society,
by the culture, 
by the tradition or religion
All those rubbish are articulated lies
 Now, at the end of my life, let me to be myself
You didn't respect me while I was alive
So now, no needs of final respect or sombre farewell
Then don’t cry, don’t weep at the dead body
It is not me. I left it for decay
Now I am free, separated to join with the source!

 Mallika M Bandara

30. 09. 2019

Thursday, 29 August 2019

නිහඬ සුසානය

වෙරළ නුඹ අප දෑත්  එක්කළ​
සැඳෑයාමය තාම මතකය​
දිනක​ නුඹ මා හිත  වියරු කළ
සොඳුරු සැන්දෑවතද මතකය​

ඇඟිළි තුඩ'ගින් ළවැලි තල මත​
ලියූ ගීතයෙ තනුව මතකය ​
නෙළූ මල්පෙති වලින් සැරහූ
ප්‍රේමයේ මුදු රටා මතකය  

වැහි කුණාටුව පහව ගිය මුත්
වෙරළ පමණක් ඉතිරිවී ඇත​
මගේ කවිපෙළ මැකී යන්නට
වැලිතලාවක් ගලාවිත් ඇත​

ඉඳුරු දුනු සැව් ඇඳුණු නිලඹර​
අඳුරු සෙවණැලි වෙළී පැටලී
ඇසි පියන්පත් ඇරෙන්ටත් පෙර​
සුසානය සේ නිහඬවී ඇත​


මල්ලිකා එම් බණ්ඩාර​ 


10. 12. 2018
  

Wednesday, 28 August 2019

නව හිරු

දූපතක්වී සයුරු තටයක​
හුදකලාවේ කිමිද නිරතුරු
වැහි අකුණු දළ සුළං පහරින්
නොයෙක කෙණෙහිලි ඉවසනා මුත්
රළ පෙළක් සේ නැගෙන සිතිවිලි
බිඳී විසිරී දියව යන සඳ​
රුපු දළින් ළය මඬල විනිවිද​
ගියද මැසිවිලි නඟනු කෙලෙසක​?
ජීවිතය අරුමයකි ඉම නැති
හමුව දුක සැප දෙකම බොඳවෙන​

නෙලා කැටයම් වියා සිතුවම්
මැදුරු දොර මුරගල් තියා
ඉඳුරු දොරසේ කළෙමි පිරියම්
ජීවිතය මේයැයි සිතා
මමද මේ ලෝදාව තුළ රැඳි
දූලි බිඳකැයි හැඟුන සැණෙකින්
පලායන්නට දියඹ අතහැර​
පෙරුම් පිරුවෙමි හසෙකු විලසින්

​සොඳුරු නින්දට නිමාවක් ඇත​
කිඳුරු සිහිනය බොඳවෙලා නැත​ ​
නුදුරු දිනයක නෙත් හරින්නෙමි
සැබෑලොව හැබැහින් දකින්නට​

අනන්තය යනු මමද ඇතුළුව​
එකම වියමන තුළම නිමවුණ​
දිගන්තයසේ දිගාවී ඇති  
කළාලයකැයි හැඟුණ මොහොතක​

දකිමි නව හිරු දුර​ සිනාසෙනු
අසමි තුර තුර කුරුළු ගීතනු
මිනිස්කම නන් වණින් පූදින
නැවුම් යායක​ සුවඳ ඉහිරුණු
තනා මං පෙත් අළුත් යුගයට​
එකම දොරකින් එක්ව පිවිසෙමු   

මල්ලිකා එම් බණ්ඩාර​

28. 09. 2019

Tuesday, 27 August 2019

නාඳුනන අමුත්තා


ඈත නිසසල කඳු වළල්ලක
සිරස මත වැහි වළාවක් වී
ඇද හැලෙන්නට පෙරුම් පුරනා
මහා මේඝය මං

පිපාසිත මුඩු බිම් තලා මත​
මුදාහැර දිය දහර තුරුමත
දොවාලන්නට බලා හිඳිනා
නිසල අහසය මං

තුරුණු කෙණෙරක විලස​ ගැබ්බර
විලිරුදාවක වෙහෙස උහුලන​
දරාගෙන සියොළඟම​ කකියන​
මිහිමඬල වෙමි මං

විඩාබර ගත සිත නිවන්නට​​
අඳුරු සළුවෙන් ලොව ඔතාගෙන​
බිඳුන ළය පිරිමඳින​ සනහන
නැවුම් අරුණෝදයට ඇරලන​
සොඳුරු රැය වෙමි මං

රඟන තුරුලිය අතර දැවටුන​
පිපුණ මල් වල සුවඳ අහුලන​
නිදහසේ පාඩම කියාදෙන​
මඳ​ පවන වෙමි මං

හුදකලාවූ රැයක තුන්‍ යම​
තොටමුණක් වී බිඳි විලාපෙක
වියෝවු දූ පුතුන් අමතන​
ගීතිකාවය මං

බිළිඳු දෙතොලක සිනාවක් වී ​
ළමා ගීයක පද වැලක්වී
රිදුන මැළවුණ හිතට ළංවෙන 
හිනා දාමය මං
  

මල්ලිකා එම් බණ්ඩාර​
27. 09. 2019