හුදකලාවේ කිමිද නිරතුරු
වැහි අකුණු දළ සුළං පහරින්
නොයෙක කෙණෙහිලි ඉවසනා මුත්
රළ පෙළක් සේ නැගෙන සිතිවිලි
බිඳී විසිරී දියව යන සඳ
රුපු දළින් ළය මඬල විනිවිද
ගියද මැසිවිලි නඟනු කෙලෙසක?
ජීවිතය අරුමයකි ඉම නැති
හමුව දුක සැප දෙකම බොඳවෙන
නෙලා කැටයම් වියා සිතුවම්
මැදුරු දොර මුරගල් තියා
ඉඳුරු දොරසේ කළෙමි පිරියම්
ජීවිතය මේයැයි සිතා
මමද මේ ලෝදාව තුළ රැඳි
දූලි බිඳකැයි හැඟුන සැණෙකින්
පලායන්නට දියඹ අතහැර
පෙරුම් පිරුවෙමි හසෙකු විලසින්
සොඳුරු නින්දට නිමාවක් ඇත
කිඳුරු සිහිනය බොඳවෙලා නැත
නුදුරු දිනයක නෙත් හරින්නෙමි
සැබෑලොව හැබැහින් දකින්නට
අනන්තය යනු මමද ඇතුළුව
එකම වියමන තුළම නිමවුණ
දිගන්තයසේ දිගාවී ඇති
කළාලයකැයි හැඟුණ මොහොතක
දකිමි නව හිරු දුර සිනාසෙනු
අසමි තුර තුර කුරුළු ගීතනු
මිනිස්කම නන් වණින් පූදින
නැවුම් යායක සුවඳ ඉහිරුණු
තනා මං පෙත් අළුත් යුගයට
එකම දොරකින් එක්ව පිවිසෙමු
මල්ලිකා එම් බණ්ඩාර
No comments:
Post a Comment